සක් දෙවිඳුගේ සහ වෙසමුණි රජුගේ දියණිවරුන් වන ලතා, සජ්ජා, පවරා, අච්චිමුඛී සහ සුජා යන දිව්‍යාංගනාවෝ යහපත් ගතිගුණ නිසා බැබළෙති.
දිනක් හිමාල පෙදෙසේ සීතල දිය පිරි, නිලුපුල් මල් පිරී ඇති නදියකට දිය නෑමට ගිය ඔවුහු සතුටු වී, ගී ගයා නැටූහ. එහි දී සුජා දෙව් දුව ලතා දෙව් දුවගෙන් මෙසේ ඇසුවාය.
“ඔබට රන්වන් සමක් තිබෙනවා. රන්වන් මලින් සැරසී, මහනෙල් මල් මාලාවක් පැළඳ සිටිනවා. තඹ පැහැති ඇස් තිබෙනවා. සරත් කාලයේ අහස සේ ලස්සනයි. දීර්ඝායුෂ තිබෙනවා. මේ වගේ යසස් ලැබුණේ කුමන පිනකට ද?
ඒ වගේ ම කුමන පිනකින් ස්වාමියාට මෙතරම් ප්‍රිය වූවා ද? ඔබගේ රූප සෝභාවත් අතිවිශිෂ්ඨයි. නැටුම් ගැයුම්වලටත් දක්ෂයි. මේවාට හේතුව අපට කියන්න”.
ලතා දෙව් දුව මෙසේ පිළිතුරු දුන්නාය.
“මම පෙර භවයේ මිනිස් දුවක් වෙලා, ධනවත් පවුලක ලේලියක් විදිහටයි ජීවත් වුණේ. මම ක්‍රෝධ කළේ නැහැ. ස්වාමියාට කීකරු වුණා. උපෝසථ සිල් රකින්න පමා වුණේ නැහැ. තරුණ වයසේ සිට ම පතිව්‍රතාව ආරක්ෂා කළා. පහන් සිතින් ස්වාමියා සතුටු වන ලෙස ජීවත් වුණා වගේ ම පවුලේ වැඩිහිටියන්, නැදිමයිලන්, දැසි දස්සන් හැමෝ ම සතුටු කළා.
ඒ පිනෙන් මම ආයුෂ, වර්ණ, සැප, බල යන කරුණු වලින් අග්‍ර වුණා. මම දැන් දිව්‍ය ක්‍රීඩා ආදියෙන් සතුටු වෙනවා”.
මෙසේ උතුම් කාන්තාවන්ට ස්වාමිවරුන්ගේ වටිනාකම වැටහෙයි. ඔවුහු ස්වාමිවරු දෙවිවරු ලෙස සලකති. ස්වාමිවරු කෙරෙහි ඇති පතිභක්තිය නිසා ම පතිවත ආරක්ෂා කරන ස්ත්‍රීහු එයින් සැප ලබති.