Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දිව්‍ය ලෝක කථා /

විශාඛා සිටු දුව විසින් කරවන ලද විහාරය දැක
ඒ පිළිබඳව සතුටු සිත් ඇති කර ගත් ඇයගේ යෙහෙළිය
ඒ පින අනුමෝදන් ව දෙව් ලොව මහත් සැප විඳියි

විහාර විමානය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය, විමානවත්ථු පාළි, මඤෙජට්ඨක වර්ගය - පිටු අංක 98 - 103)

ඕසධී තාරකාව මෙන් බබළන දිව්‍යාංගනාවක් සිටියාය. ඇය නටන විට සියලු අඟ පසඟින් ඉතා කන් කලු දිව්‍ය නාදයකුත්, දිව්‍ය සුගන්ධයකුත් නිකුත් වෙයි. හිස් මුදුනේ ඇති මල් කලඹ මඳ සුළඟින් සැලෙද්දී එයින් පංචතූර්ය නාදය නිකුත් වෙයි. ඇය හිසෙහි පැළඳ සිටින මල් දමෙන් ඉමිහිරි සුවඳක් පැතිරෙයි.

මෙවැනි ආනුභාවයක් සහිත දිව්‍ය ආත්මයක් ලැබීමට කළ පින කුමක්දැයි ඇයගෙන් ඇසූ විට දෙව් දුව මෙසේ පිළිතුරු දුන්නාය.

“ස්වාමීනි, මාගේ යෙහෙළිය වූ විශාඛා සැවැත්නුවර සංඝයා උදෙසා මහා විහාරයක් කරවූවා. එය දැක සිත සතුටු කර ගත් මා, මට ද ප්‍රිය වූ බුද්ධ ප්‍රමුඛ සංඝයා උදෙසා කළ ඒ මහා ධන පරිත්‍යාගය දැක පින් අනුමෝදන් වුණා. මම ඒ පින අනුමෝදන් වුණේ පිරිසිදු සිතින්මයි. ඒ නිසාමයි මේ පුදුම සහගත දිව්‍ය විමානය පහළ වුණේ.

මගේ පුණ්‍ය ඉර්ධියෙන් අහසේ යොදුන් සොළසක් පුරා මේ විමානය ගමන් කරනවා. සුවිශාල මන්දිර සහිත මේ විමානයේ කාමර බෙදලා තිබෙනවා. ඒ වගේ ම දිව්‍ය මාළු රංචු සිටින, රත්තරං වැලි සහිත පොකුණු තිබෙනවා. එහි ලස්සන නෙළුම් මල් ද පිපී තිබෙනවා. ජම්බු, කොස්, තල්, පොල් ආදී නානා විධ ගස් ඉබේ ම පහළ වෙලා තිබෙනවා. නානා තූර්ය වාදනවලින් මිහිරි සංගීතය පැතිරෙනවා. යම් කෙනෙක් මාව සිහිනෙන් දුටුවොත් ඒ මනුස්සයාට ප්‍රීතියක්මයි ඇති වෙන්නේ.

මේ ආකාරයේ පුදුමාකාර දර්ශනීය විමානයක් ලැබුනේ මං කර ගත් පින්වලින්මයි. ඒ නිසා පින් කිරීමමයි සුදුසු”.

ඒ විහාර දානය දුන් ඇයගේ යෙහෙළිය උපන්නේ කොහේදැයි ඇසූ පැනයට දෙව් දුව මෙසේ පිළිතුරු දුන්නාය.

“මගේ යෙහෙළිය චතුරාර්ය සත්‍ය ධර්මය ගැන අවබෝධයක් ඇතුවයි දන් දුන්නේ, ආර්ය සංඝයාට විහාර කරවලා පූජා කළේ. ඉතිං ඇය උපන්නේ නිම්මානරතියෙ දෙවියන් අතරයි. සුනිම්මිත දෙව් රජුගේ බිරිඳ වෙලයි ඇය ඉන්නේ. ඇයගේ පුණ්‍ය විපාකය නම් සිතන්නටවත් බැහැ.

රත්තරං පාට සිරුරින් යුතු, මධුර වූ බ්‍රහ්ම ස්වර ඇති බුදු රජාණන් වහන්සේ විසිනුයි මේ ශ්‍රේෂ්ට යහපත් වූ මාර්ගය වදාළේ. ඒ මාර්ගයෙහි ගමන් කරන ආර්ය මහා සංඝයාට පූජා කරන දානය මහත් ඵල උපදවයි.

බුද්ධාදී සත්පුරුෂයන් වහන්සේලා විසින් ප්‍රශංසා කරන ආර්ය පුද්ගලයන් අට දෙනා තමයි සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වන්නේ. ඒ ආර්යයන් වහන්සේලා දන් පැන් ලැබීමට සුදුසුයි. පින් අපේක්ෂාවෙන් දන් පැන් දෙන මිනිස්සු තම දානය මහත් ඵල කර ගැනීමට නම් දෙන්න ඕන ඒ ආර්ය මහා සංඝ රත්නයටයි.

මේ ආර්ය සංඝයා මැනිය නොහැකි මහා ගුණයෙන් යුක්තයි. සාගර ජලය වැනියි. ඒ ආර්ය සංඝයාට දන් පැන් පූජා කරගත්තොත් නිසි තැනට පූජා කළා වෙනවා. එවැනි ආර්ය සංඝයාට දන් දී, ඒ දානය නැවත නැවත සිහි කරන්න ඕන. එවිට හරි සතුටක් ඇති වෙනවා. මසුරු මල මුලින් ම දුරු කරලා ලෝකයේ ජීවත් වෙන්න පුළුවනි. ස්වර්ගයේ උපදින්නත් පුළුවනි”.


බාගත ​කිරීමට