Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / සීල කථා /

භික්ෂු විනය

ත්‍රිපිටකය ඇසුරින්

ගෞතම බුදු රජාණන් වහන්සේ විසින් මේ ශාසනයේ භික්ෂූන් වහන්සේලා නිවන් දැකීම සඳහා හික්මවීම පිණිස පනවන ලද අධිශීල ශික්ෂාව භික්ෂු විනය නම් වෙයි.

බුද්ධ ශාසනයක් බොහෝ කාලයක් පැවතීම සඳහා නවාංග ශාස්තෘ ශාසනය විස්තර වශයෙන් දේශනා කිරීම, ශ්‍රාවකයන්ට ශික්ෂා පද පැනවීම ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම යන කරුණු හේතු වෙයි.

නවාංග ශාස්තෘ ශාසනය ස්වල්ප වශයෙන් දේශනා කිරීම, ශික්ෂා පද නොපැනවීම හා ප්‍රාතිමෝක්ෂය දේශනා නොකිරීම නිසා බුද්ධ ශාසනය කෙටි කලකින් විනාශ වීම සිදුවන බව ද බුදු රජාණන් වහන්සේ වදාළ සේක.

පෙර බුද්ධ ශාසන බොහෝ කාලයක් පැවතීම පිණිස කරුණු නොයෙදුණු අවස්ථාවල දී, එම බුදු රජාණන් වහන්සේලාගේ පිරිනිවීමෙන් හා ප්‍රබල ශ්‍රාවකයන්ගේ පිරිනිවීමෙන් පසු ව නොයෙක් ගෝත්‍රවලින්, නොයෙක් ජාතීන්ගෙන් හා නොයෙක් කුලවලින් පැමිණ පැවිදි වූ අතවැසි ශ්‍රාවකයන් විසින් එම බුද්ධ ශාසනයන් ඉතා ඉක්මනින් ම අතුරුදහන් කළහ. ඒ කෙසේ ද යත්; නොයෙක් ජාතිවල එකට ගොතනු නො ලැබූ මල්, මල් අසුනක් මත තබා තිබිය දී සුළඟ විසින් ඒ සියල්ල විසුරුවා දමන්නාක් මෙනි.

නමුත් බුද්ධ ශාසනය බොහෝ කාලයක් පැවතීම පිණිස කරුණු යෙදුණු අවස්ථාවල දී, එම බුදු රජාණන් වහන්සේලාගේ පිරිනිවීමෙන් හා ප්‍රබල ශ්‍රාවකයන්ගේ පිරිනිවීමෙන් පසු ව නොයෙක් ගෝත්‍රවලින්, නොයෙක් ජාතීන්ගෙන් හා නොයෙක් කුලවලින් පැමිණ පැවිදි වූ අතවැසි ශ්‍රාවකයන් විසින් එම බුද්ධ ශාසනයන් බොහෝ කාලයක් පැවැත්වූහ. ඒ කෙසේද යත්; නොයෙක් ජාතිවල එකට ගොතනු ලැබූ මල්, මල් ආසනයක් මත තබා තිබිය දී සුළඟ විසින් ඒ සියල්ල පහසුවෙන් විසිරුවා දැමිය නොහැකි වන්නාක් මෙනි. මේ අයුරින් බුද්ධ ශාසනයක දිගු හෝ කෙටි කල් පැවැත්ම පිළිබඳ ව ගෞතම බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කළ සේක.

සාරිපුත්ත මහ රහතන් වහන්සේ විසින් මේ ශාසනයේ දිගු කල් පැවැත්ම පිණිස ශික්ෂා පද පනවන ලෙස ඉල්ලීමක් කළ සේක. නමුත් භාග්‍යවතුන් වහන්සේ විසින් එයට කල් දන්නා බවත්, බලාපොරොත්තුවෙන් සිටිනා ලෙසටත් වදාළ සේක. ආස්‍රව වැඩීමට කරුණු වන ධර්මතා භික්ෂූන් වහන්සේලා තුළ පහළ නොවන තාක් කල් විනය නොපනවන බව ද යම් කලෙක ආස්‍රව සෑදීමට කරුණු වන ධර්මතා භික්ෂූන් වහන්සේලා තුළ පහළ වන විට එම ආස්‍රව නැසීම පිණිස විනය පනවන බව ද ප්‍රකාශ කළ සේක.

බුද්ධ ශාසනයක භික්ෂූන් වහන්සේලා;

  • ගත කළ කාලය මහත් බවට නොගියේ වේ ද,
  • ස්ථවිර, මධ්‍යම හා නවක වශ‍යෙන් විපුල බවට, මහත් බවට නොගියේ වේ ද,
  • ලාභයෙන් මහත් බවට නොගියේ වේ ද,
  • බහුශ්‍රැතභාවයෙන් මහත් බවට නොගියේ වේ ද,

එතෙක් භික්ෂූන්ට ආස්‍රවනීය ධර්මයෝ පහළ නොවන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක.

යම් කලෙක භික්ෂූන් වහන්සේලා;

  • ගත කළ කාලය මහත් බවට ගියේ වේ ද,
  • ස්ථවිර, මධ්‍යම හා නවක වශයෙන් විපුල බවට, මහත් බවට ගියේ වේ ද,
  • ලාභයෙන් මහත් බවට ගියේ වේද,
  • බහුශ්‍රැතභාවයෙන් මහත් බවට ගියේ වේ ද,

එ කල්හි භික්ෂූන්ට ආස්‍රවනීය ධර්මයෝ පහළ වන බව භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ සේක.

බුදු සසුන ආරම්භ වී කලක් ගත වූ පසු ගෞතම බුදු රජාණන් වහන්සේ විසින් කාරණා දහයක් හේතු කොට ගෙන විනය පැනවූ සේක. එනම්,

  1. සංඝයාගේ යහපත් බව පිණිස.
  2. සංඝයාගේ පහසු බව පිණිස.
  3. දුසිල්වත් පුද්ගලයන්ට නිග්‍රහය පිණිස.
  4. සිල්වත් භික්ෂූන්ගේ පහසු විසුම පිණිස.
  5. මෙ ලොව දී සිදු වන දුක් වැළැක්වීම පිණිස.
  6. පර ලොව දී සිදු වන දුක් නැසීම පිණිස.
  7. නො පැහැදුණු අයගේ පැහැදීම පිණිස.
  8. පැහැදුණු අයගේ වඩාත් පැහැදීම පිණිස.
  9. සද්ධර්මයේ චිරස්ථිතිය පිණිස.
  10. විනය අනුග්‍රහය පිණිස.

ගෞතම බුදු රජාණන් වහන්සේගේ ශාසනය තුළ නිවන් දැකීමට උත්සාහ කරන භික්ෂුවක විසින් අධිශීල ශික්ෂා, අධිචිත්ත ශික්ෂා, අධිප්‍රඥා ශික්ෂා යන ත්‍රිවිධ ශික්ෂාවන් පිරිය යුතුය. එහි දී අධිශීල ශික්ෂාව යටතේ ප්‍රාතිමෝක්ෂයෙහි ඇතුළත් ශික්ෂා පද හා අනෙක් පනවන ලද සියලු ම ශික්ෂා පද ඇතුළත් වෙයි.

සීලය ආරක්ෂා නො කරන කිසි ම භික්ෂුවකට නිවන් දැකිය නොහැකිය. බුදු රජාණන් වහන්සේ විසින් පිරිනිවන් පෑමට ආසන්න කාලයේ දී

“සීලය මෙසේය. සමාධිය මෙසේය. ප්‍රඥාව මෙසේය. සීලයෙන් වඩන ලද සමාධිය මහත්ඵල වෙයි. සමාධියෙන් වඩන ලද ප්‍රඥාව මහත්ඵල වෙයි. ප්‍රඥාවෙන් වඩන ලද සිත කාමාස්‍රව කෙරෙන් ද භවාස්‍රව කෙරෙන් ද අවිද්‍යාස්‍රව කෙරෙන් ද මොනවට මිදේ”

යැයි දේශනා කළ සේක.

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑමට පෙර ආනන්ද හිමියන් අමතා මෙසේ වදාළ සේක.

“ආනන්ද මා පිරිනිවන් පෑ පසු සංඝයා කැමති වන්නේ නම් ඛුද්දානුඛුද්දක ශික්ෂා පද ඉවත් කර ගන්න”.

නමුත් ඛුද්දානුඛුද්දක ශික්ෂා පද යනු කවරක් දැයි ආනන්ද හිමියන්ට අසා දැන ගැනීමට නොහැකි විය. පසු ව පළමු ධර්ම සංගායනාවේ දී කාශ්‍යප මහ රහතන් වහන්සේ, අනුරුද්ධ මහ රහතන් වහන්සේ, උපාලි මහ රහතන් වහන්සේ, ආනන්ද මහ රහතන් වහන්සේ වැනි ප්‍රබල ස්ථවිර භික්ෂුන්ට ද එය විනිශ්චය කිරීමට නොහැකි විය. පසු ව බුදු රජාණන් වහන්සේ පැනවූ සියලු ම ශික්ෂා පද ඒ ආකාරයට ම ආරක්ෂා කළ යුතු බවට මහා සංඝයා තීරණය කළහ. එවැනි අවස්ථාවක ද එය තෝරා බේරා ගැනීමට නොහැකි විය.

අද වැනි දිනක එය විනිශ්චය කළ නොහැකි බව විවාදයකින් තොර ව පිළිගත යුතුය.

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, දීඝ නිකාය II, මහාපරිනිබ්බාන සූත්‍රය - පිටු අංක 114 - 264 / විනය පිටකය, පාරාජික පාළි - පිටු අංක 2 - 49)

 

භික්ෂු විනය

  • පාරාජිකා 04 කි.
    පාරාජිකා ආපත්තියකට (ශික්ෂා පදය කැඩීම නිසා වන දෝෂය) පත් වූ භික්ෂුවකට භික්ෂු භාවය අහිමි වෙයි. නැවත ජීවිත කාලයට ම භික්ෂුවක් වීමට නොහැකිය. ඒ කෙසේ ද යත්, හිස සුන් පුරුෂයෙකුගේ ශරීරයෙන් ජීවත් වීමට නොහැකි වන්නාක් මෙනි.
  • සංඝාදිසේස 13 කි.
    සංඝාදිසේස ආපත්තියකට පත් වූ භික්ෂුවකට, ඊට අදාළ විනය කර්ම සිදු කිරීමෙන් අනතුරු ව පිරිසිදු භික්ෂු සංඝයාට ඇතුළත් කර ගනු ලැබෙයි.
  • අනියත 2 කි.
    පළමු අනියත ආපත්තිය විනිශ්චය කරන විට, එය පාරාජිකා ආපත්තියක් හෝ සංඝාදිසේස ආපත්තියක් හෝ පචිති ආපත්තියක් හෝ විය හැකිය.
    දෙවන අනියත ආපත්තිය විනිශ්චය කරන විට, එය සංඝාදිසේස ආපත්තියක් හෝ පචිති ආපත්තියක් විය හැකිය.
    විනිශ්චය අවසානයේ ආපත්තියක් සිදුවී ඇත්නම් එම ආපත්තියට අදාළ ව පිළියම් කරනු ලැබෙයි.
  • නිසැඟි පචිති 30 කි.
    ගෞතම බුදු රජාණන් වහන්සේ විසින් පනවන ලද නිසැඟි පචිති ශික්ෂා පදයන්ට ඇතුළත් භාණ්ඩයක් හෝ ද්‍රව්‍යයක් හෝ එම ශික්ෂා පද කැඩෙන අයුරින් භාවිත කිරීම මෙම නිසැඟි පචිති ආපත්තියකට පත් වීමට හේතු වෙයි. මෙම ආපත්තියකට ලක් වූ භික්ෂුවක් විසින‍් එම ආපත්තියට හේතු වූ භාණ්ඩය හෝ ද්‍රව්‍යය රැගෙන පිරිසිදු භික්ෂුවක් හෝ භික්ෂූන් වෙත එළඹ, තමා අතින් සිදු වූ වරද ප්‍රකාශ කර ඊට අදාළ පිළියම් සිදු කිරීම මඟින් මෙම ආපත්තිය නිවැරදි කර ගනු ලැබෙයි.
  • පචිති 92 කි.
    පචිති ආපත්තියකට පත් වූ භික්ෂුවක් විසින් පිරිසිදු භික්ෂුවක් හෝ භික්ෂූන් වෙත එළඹ, තමා අතින් සිදු වූ වරද ප්‍රකාශ කර නැවත එවැනි වැරදි නොකරන බවට ප්‍රකාශ කර එම වරදට පිළියම් කරනු ලැබෙයි.
  • පාටිදේසනීය 4 කි.
    මෙම ආපත්තියකට පත් වූ භික්ෂුව ගැරහිය යුතු වෙයි. මෙම ආපත්තීන්ගෙන් පිරිසිදු වීම පචිතිවල සදහන් කළ ආකාරයට ම සිදු කරනු ලැබෙයි.
  • දුකුලා 75 කි.
    මෙම ආපත්තීන්ගෙන් පිරිසිදු වීම පචිතිවල සදහන් කළ ආකාරයට ම සිදු කරනු ලැබෙයි.
  • අධිකරණ සමථ 7 කි.
    භික්ෂූන් වහන්සේලා අතර අධිකරණ ඇති වූ විට එම අධිකරණ විසඳීම සඳහා ක්‍රම 7 ක් බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කළ සේක. එනම්,
    • සම්මුඛාවිනය,
    • සතිවිනය,
    • අමූළ්හවිනය,
    • ප්‍රතිඥාතකරණය,
    • යෙභූය්‍යසිකාව,
    • තස්සපාපිය්‍යසිකාව,
    • තිණවත්ථාරකය.

පරාජික කාණ්ඩය

  1. යම් කිසි භික්ෂුවක් භික්ෂුන්ගේ අධිශීල සංඛ්‍යාත ශික්ෂාවට හා ප්‍රඥප්ත ශික්ෂා පද සංඛ්‍යාත සමාන පැවැත්මට පැමිණියේ, ප්‍රාතිමෝක්ෂ සංවර සංඛ්‍යාත ශික්ෂාව ප්‍රතික්ෂේප නො කොට සමාන පැවැත්මේ දුබල බව පළ නොකොට, යටත් පිරිසෙයින් තිරිසන් ගිය ස්ත්‍රියක් සමඟ ද මෙවුන්දම් සෙවියේ නම්, කෙලෙස් සතුරන් විසින් පරදවන ලද්දේ පිරිසිදු භික්ෂූන් සමඟ එක් ව විසීමෙක් නැත්තේය.
  2. යම් කිසි භික්ෂුවක් නුදුන් වස්තුවක් ග්‍රාමයෙන් හෝ අරණ්‍යයෙන් හෝ සොර සිතින් ගනී ද, යම් බඳු වූ නුදුන් වස්තුවක් ගැන්මෙහි රජවරු සොරෙක් ගෙන ‘සොරෙකි, බාලයෙකි, මෝඩයෙකි, අනුන්ට අයත් දැය සොරාගත්තෙහි’ යි ඔහු පෙළත් ද, බඳිත් ද, රටින් නෙරපා ද, එබඳු නුදුන් වස්තුව සොර සිතින් ගන්නා වූ මේ භික්ෂුව ද පිරිසිදු භික්ෂූන් සමඟ එක් ව විසීමක් නැත්තේය.
  3. යම් කිසි භික්ෂුවක් දැන දැන මිනිස් සිරුර (මිනිසෙකු) දිවියෙන් තොර කෙරේ ද, දිවි නසන අවියක් යමකු වෙත එළවා තබන්නේ ද, මරණයෙහි ගුණ හෝ කියන්නේ ද, මරණය පිණිස උපායක් උගන්වන්නේ ද, ‘එම්බා පුරුෂය, නුඹගේ ලාමක වූ මේ දුක් ජීවිතයෙන් කිම? නුඹගේ ජිවිතයට වඩා මරණය උතුම්ය’ යි මෙබඳු මරණ සිත් ඇත්තේ මෙබඳු මරණ සංකල්පනා ඇත්තේ නොයෙක් අයුරින් මරණයෙහි ගුණ හෝ පවසා ද, මරණය පිණිස උපායක් උගන්වා ද මේ භික්ෂුව ද පැරදුණේ පිරිසිදු භික්ෂූන් සමඟ එක් ව විසීමෙක් නැත්තේය.
  4. යම් භික්ෂුවක් තමා නො දන්නා ආර්ය ඥාන දර්ශනයට යෝග්‍ය වූ උතුරු මිනිස්දම් (ධ්‍යාන හා මාර්ග ඵල) තමා කෙරෙහි එළවා ‘මෙසේ දනිමි. මෙසේ දකිමි’ යි (තමා කෙරෙහි ඇතය) අධිමානයෙන් තොර ව කියන්නේ ද, ඉන් පසු කාලයෙහි විචාරණු ලබන්නේ හෝ නොවිචාරණු ලබන්නේ හෝ පරිජි ඇවත් වන්නේ පිරිසිදු බව කැමැත්තේ මෙසේ කියන්නේය. “ඇවැත්නි, මම නොදන්නෙම් මෙසේ දනිමි යි කීවෙමි. නොදක්නෙම් දකිමි යි හිස් බොරු කීවෙමි”. මේ භික්ෂුව ද පැරදුණේ පිරිසිදු භික්ෂුන් සමඟ එක් ව විසීමෙක් නැත්තේය.

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, විනය පිටකය, පාරාජික පාළි - පිටු අංක 28 -255)

සංඝාදිසේස කාණ්ඩය

  1. සිහිනෙන් විනා දැන දැන සුකුරු මිදුම සඟවෙසෙස් ඇවත වෙයි.
  2. යම් මහණෙක් රාගයෙන් යුක්ත පෙරළී ගිය සිතින් මාගමක (ස්ත්‍රියක) හා කාය සංසර්ගයට පැමිණියේ නම්, අත ඇල්ලීම හෝ කෙහෙ ඇල්ලීම හෝ යම් ම අඟපසඟක් පිරිමැදීම කෙරේ නම් සඟවෙසෙස් ඇවත වෙයි.
  3. යම් භික්ෂුවක් රාගයෙන් පෙරළී ගිය සිතින් තරුණයෙකු තරුණියකට කරන මෛථූන සන්නිශ්‍රිත ව කථාවක් මෙන් යම් ස්ත්‍රියකට (ඇගේ වසමඟ පසමඟ පිළිබඳ ව) අසභ්‍ය ව්‍යවහාරයෙන් කථා කරයි නම් (ඔහුට) සඟවෙසෙස් ඇවත වෙයි.
  4. යම් භික්ෂුවක් රාගයෙන් පෙරළී ගිය සිතින් ‘නැගණියනි සිල්වත් වූ යහපත් ගතිගුණ හා බඹසර ඇත්තා වූ මා වැන්නෙකුට මෛථූන ධර්මයෙන් උපස්ථානයන් කෙරේ නම් එය උපස්ථානයන් අතර ශ්‍රේෂ්ඨ’යැයි ස්ත්‍රියක් හමුවෙහි තමා හා මෙවුන්දම් සෙවීමේ අනුසස් ප්‍රකාශ කරන්නේ ද (ඔහුට) සඟවෙසෙස් ඇවත වෙයි.
  5. යම් භික්ෂුවක් (ස්ථිර අඹුසැමි බවකින් හෝ සොර අඹුසැමි බවකින්) ස්ත්‍රියකගේ කැමැත්ත පුරුෂයාට ද පුරුෂයාගේ කැමැත්ත ස්ත්‍රියක වෙත ද ගෙන යයි නම් යටත් පිරිසෙයින් ඒ මොහොතෙහි රමණය කරනු කැමති ස්ත්‍රීන්ගේ හෝ පුරුෂයන්ගේ අදහස් ඔවුනොවුන් අතර ගෙන යන්නේ නම් (ඔහුට) සඟවෙසෙස් ඇවත වෙයි.
  6. තමන් සඳහා වූ ද කරවා දෙන දායකයන් නැත්තා වූ ද ඉල්ලා ගත් වෑ පොරෝ ආදිය ඇති ව කුටියක් කරවනු කැමති භික්ෂුව විසින් එය ප්‍රමාණවත් ලෙස කරවිය යුත්තේය. මේ එහි ප්‍රමාණයයි. දිගින් සුගත් වියතින් දොළොස් වියතකි. පළලින් (බිත්ති හැර) ඇතුළත සුගත් වියතින් සත් වියතකි. කුටි බිම දෙසීම පිණිස භික්ෂූහු කැඳවිය යුත්තාහ. ඒ භික්ෂුන් විසින් ද උපද්‍රව රහිත ව උපචාර සහිත ව කුටි බිම දෙසිය යුත්තේය. යම් භික්ෂුවක් උපද්‍රව සහිත ව උපචාර රහිත ව ඉල්ලාගත් වෑ පොරෝ ආදියෙන් කුටියක් කරවන්නේ ද කුටි බිම දෙසීම පිණිස භික්ෂූහු ද නො කැඳවන ලද්දාහු ද එසේ ම ප්‍රමාණය ද ඉක්මවා නම් සඟවෙසෙස් ඇවත වෙයි.
  7. තමන් සඳහා වූ ද කරවා දෙන දායකයන් ඇත්තා වූ ද ලොකු විහාරයක් කරවනු කැමති භික්ෂුව විසින් විහාර බිම දෙසීම සඳහා භික්ෂූහු කැඳවිය යුත්තාහ. ඒ භික්ෂූන් විසින් ද උපද්‍රව රහිත ව උපචාර සහිත ව විහාර බිම දෙසිය යුත්තේය. යම් භික්ෂුවක් උපද්‍රව සහිත ව උපචාර රහිත ව ලොකු විහාරයක් කරවන්නේ නම් විහාර වස්තුව දෙසීම පිණිස භික්ෂූහු ද නො කැඳවනු ලද්දාහු නම් (ඔහුට) සඟවෙසෙස් ඇවත වෙයි.
  8. යම් භික්ෂුවක් වෙනත් භික්ෂුවක කෙරෙහි කිපියේ, නො සතුටු වූයේ, දුෂ්ට වූ සිත් ඇත්තේ ඒ භික්ෂුව සසුනෙන් නෙරපා දමන්නේ නම් යෙහෙකැයි සිතා අමූලික වූ පරිජි ඇවතකින් චෝදනා කරයි. ඉක්බිති පසු කලෙක කිසිවෙකු විසින් විනිශ්චය කරනු ලැබුව ද නො ලැබුව ද ඒ චෝදනාව හේතු රහිත වූවක් වෙයි නම් එ මෙන් ම චෝදක භික්ෂුව ද (තමා විසින් ම) දෝෂයෙහි පිහිටා නම් (ඔහුට) සඟවෙසෙස් ඇවත වෙයි.
  9. යම් භික්ෂුවක් වෙනත් භික්ෂුවක කෙරෙහි කිපියේ, නො සතුටු වූයේ, දුෂ්ට වූ සිත් ඇත්තේ ඒ භික්ෂුව සසුනෙන් නෙරපා දමන්නේ නම් යෙහෙකැයි සිතා ලේස මාත්‍රයක් ගෙන (තිරිසන් ආදී සතකු පිළිබඳ වූ ආපත්තියකට හේතුවන කාරණයක් ආරෝපණය කොට) පරිජි ඇවතකින් චෝදනා කරයි. ඉක්බිති පසු කලෙක කිසිවකු විසින් විනිශ්චය කරනු ලැබූව ද නො ලැබූව ද ඒ චෝදනාව තිරිසනුන් පිළිබඳ වූවක් බවත් ආරෝපිත වූවක් බවත් පැහැදිලි වෙයි නම් එමෙන් ම චෝදක භික්ෂුව ද (තමා විසින් ම) වරදෙහි පිහිටා නම් (ඔහුට) සඟවෙසෙස් ඇවත වෙයි.
  10. යම් භික්ෂුවක් සමඟි සංඝයාගේ භේදය පිණිස උත්සාහ කරයි ද භේදය පිණිස පවත්නා කාරණයක් හෝ දැඩි ව ගෙන සිටියි ද ඒ භික්ෂුවට සෙසු භික්ෂූන් විසින් මෙසේ කිව යුත්තේය. “ඇවැත්නි, සමඟි සංඝයාගේ භේදය පිණිස උත්සාහ නො කරාවා! භේදය පිණිස පවත්නා කාරණයක් හෝ දැඩි ව ගෙන නො සිටීවා! ඇවැත්නි, පියවි සංඝයා සමඟ එක්වනු මැනව. ඔවුනොවුන් ප්‍රිය වූ, විවාද රහිත වූ, සමාන පාමොක් උදෙසීම් ඇත්තා වූ සමඟි සංඝයා සුව සේ වාසය කරන්නේ ද එහෙයිනි”. මෙසේ පියවි භික්ෂූන් විසින් අවවාද කරන්නා වූ භේදක භික්ෂුව පෙර සේ ම දැඩි ව සිටියි නම් ඒ දෘෂ්ටිය දුරු කරනු සඳහා පියවි භික්ෂුන් විසින් තෙවරක් දක්වා ම අවවාද දිය යුත්තේය. ඉදින් තෙවැනි වර හෝ හික්මෙනු ලබන්නේ සිය අදහස් හළේ නම් මැනවි. නොහළේ නම් (ඔහුට) සඟවෙසෙස් ඇවත වෙයි.
  11. යම් භික්ෂුවක් සංඝභේදය පිණිස උත්සාහ කරයි ද ඒ භික්ෂුවට පක්ෂ වූ වර්ගවාදී වූ එක් භික්ෂුවක් හෝ දෙදෙනෙක් හෝ තිදෙනෙක් භික්ෂූහු වෙත්. ඒ භික්ෂූහූ මෙසේ පවසත්. “ඇවැත්නි, භේදක භික්ෂුවට කිසිවක් නො කියවු. ඔහු විනයවාදීය. ධර්මවාදීය. අපගේ කැමැත්ත ද රුචිය ද ඔහු දනී. (එසේ ම) කියයි. ඒ අනුව ක්‍රියා ද කරයි. අපගේ අදහස ද එය ම යැ” යි කියත් නම් පිරිසිදු භික්ෂූන් විසින් ඒ භික්ෂූන්ට මෙසේ කිය යුත්තාහු වෙති. “ඇවැත්නි, එසේ නො කියවු. භේදක භික්ෂුව අධර්මවාදීය. අවිනයවාදීය. ඔබ සැම ද සංඝභේදය රුචි නො කරනු මැනව. පිරිසිදු සංඝයා සමඟ එක්වනු මැනව. ඔවුනොවුන් ප්‍රිය වූ විවාද රහිත වූ සමාන පාමොක් උදෙසීම් ඇත්තා වූ සමඟි සංඝයා සුව සේ වාසය කරන්නේ ද එහෙයිනි”. මෙසේ පියවි භික්ෂූන් විසින් අවවාද කරන්නාවූ භේදකර භික්ෂුවට පක්ෂපාතී භික්ෂූහු පෙර සේ ම දැඩි ව සිටිත් නම් ඒ දෘෂ්ටිය දුරු කරනු සඳහා පියවි භික්ෂූන් විසින් තෙවරක් දක්වා ම අවවාද දිය යුත්තාහ. ඉදින් තෙවැනි වර හෝ හික්මෙනු ලබන්නා වූ ඒ භික්ෂූහු සිය අදහස් හළේ නම් මැනවි. නොහළේ නම් (ඔවුන්ට) සඟවෙසෙස් ඇවත වෙයි.
  12. යම් කිසි භික්ෂුවක් දුර්වච (නො කීකරු) ස්වභාවය ඇත්තේ වෙයි. සෙසු භික්ෂූන් විසින් ප්‍රාතිමෝක්ෂයෙහි ඇතුළත් ශික්ෂා පදයන් හි පිහිටා අවවාද කරනු ලබන කල්හි ද ඔහු (තමා) අවවාද කටයුත්තෙකැයි නොසලකයි. “ඇවැත්නි, ඔබ වහන්සේලා මා හට හොඳක් හෝ නරකක් නොකියනු මැනවි. මම ද ඔබ වහන්සේලාට හොඳක් හෝ නරකක් නොකියමි. එහෙයින් මට අනුශාසනා නොකරවු” යැයි තමා අනුශාසනා කටයුත්තෙකු කොට නොසලකයි. මෙබඳු භික්ෂුවකට සෙසු භික්ෂූන් විසින් මෙසේ කිය යුතුයි. “ඇවැත්නි, තමා නොකිය යුත්තෙකු කොට නොසලකනු මැනව. හුදෙක් කිය යුත්තෙක් ලෙස සලකනු මැනව. ඔබ ද භික්ෂූන්ට විනයානුකූල ව කියන්න. සෙසු භික්ෂූහු ද ඔබට විනයානුකූල ව කියති. එය එසේ ම විය යුතුය. මක් නිසා ද යත් ඔවුනොවුන්ගේ අනුශාසනාවෙන් ඔවුනොවුන් ඇවතින් නගා සිටුවීමෙන් භාග්‍යවතුන් වහන්සේගේ පිරිස වැඩෙන්නේ ද එහෙයිනි”. මෙසේ පිරිසිදු භික්ෂූන් විසින් අවවාද කරන කල්හි ද ඒ භික්ෂුව පෙර සේ ම දැඩි ව සිටියි නම් ඒ දෘෂ්ටිය දුරුකරනු සඳහා පියවි භික්ෂූන් විසින් තෙවරක් දක්වා ම අවවාද දිය යුත්තේය. ඉදින් තෙවැනි වර හෝ හික්මවනු ලබන්නේ සිය අදහස් හළේ නම් මැනවි. නොහළේ නම් (ඔහුට) සඟවෙසෙස් ඇවත වෙයි.
  13. යම් භික්ෂුවක් දායකයන්ගේ ශ්‍රද්ධාව දූෂණය කරමින් පහත් ඇවතුම් පැවතුම් ඇති ව යම් කුලයක් හෝ ගමක් ඇසුරු කොට වාසය කෙරෙයි. ඔහුගේ ලාමක හැසිරීම හා එයින් දුෂණය වූ කුල ද දකින්නටත් අසන්නටත් ලැබෙයි. (එසේ ඇති කල්හි) පිරිසුදු භික්ෂූන් විසින් ඒ භික්ෂුවට මෙසේ කිව යුතු වෙයි. “ඔබ වනාහි දායකයන්ගේ ශ්‍රද්ධාව දූෂණය කරන්නෙකි. ලාමක හැසිරීම් ඇත්තෙකි. ඔබගේ ලාමක පැවතුම් හා එයින් දූෂිත වූ කුල ද දකින්නටත් අසන්නටත් ලැබේ. එබැවින් ඔබ මෙහි සිටීමෙන් වැඩක් නැත. මේ ආරාමයෙන් ඉවත් ව යව”. මෙසේ දන්වනු ලැබූ ඒ භික්ෂුව ‘මෙබඳු ම ආපත්තියක් මුල් කොට සමහර අය (ආරාමයෙන්) බැහැර කරති. සමහර අය බැහැර නො කරති. මේ භික්ෂූහු ඡන්දයෙන් අගතියට ගියහ. ද්වේෂයෙන් අගතියට ගියහ. මෝහයෙන් අගතියට ගියහ. බියෙන් අගතියට ගියහ’ යැයි කියයි නම් පිරිසිදු භික්ෂූන් විසින් යළිත් ඔහුට මෙසේ කිව යුතු වෙයි. “ඇවැත්නි, මෙසේ නොකියාවා. මේ භික්ෂූහු ඡන්දයෙන් අගතියට නොගියහ. ද්වේෂයෙන් අගතියට නොගියහ. මෝහයෙන් අගතියට නොගියහ. බියෙන් අගතියට නොගියහ. ඔබ වනාහි කුල දූෂණය කරන්නෙකි. ලාමක හැසිරීම් ඇත්තෙකි. ඔබගේ ලාමක පැවතුම් හා එයින් දූෂිත කුල ද දකින්නටත් අසන්නටත් ලැබේ. (එබැවින්) ඔබගේ මෙහි සිටීමෙන් වැඩක් නැත. මේ ආරාමයෙන් ඉවත් ව යව” යනුවෙනි. භික්ෂූන් විසින් මෙසේ කියනු ලබද්දීත් පෙර සේ ම සිටී නම් නැවත තෙවරක් දක්වා ම අවවාද කළ යුතුය. තුන් වෙනි වර හෝ හික්මෙනු ලබන්නේ සිය ලාමක හැසිරීම් අත්හළේ නම් මැනවි. නොහළේ නම් (ඔහුට ) සඟවෙසෙස් ඇවත වෙයි.

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, විනය පිටකය, පාරාජිකපාළි - පිටු අංක 256 - 483)

අනියත කාණ්ඩය

  1. යම් භික්ෂුවක් ආවරණය වූ මෛථූන සේවනයට සුදුසු වූ රහසිගත වූ තැනක හුදකලා ව ස්ත්‍රියක සමඟ හිඳ, ඇදහිය යුතු වදන් ඇති උපාසිකාවක් එය දැක පරිජි, සඟවෙසෙස්, පචිති යන තුන් ආපත්තීන් අතුරෙන් යම් කිසි ඇවතකින් චෝදනා කරයි ද, එසේ හිඳි භික්ෂුව චෝදනා කරන ලද ත්‍රිවිධ ආපත්තීන් අතුරින් ප්‍රතිඥා කරන්නේ යම් ඇවතකින් ද එයින් ආරෝපණය කටයුත්තේය. මේ ආපත්තිය භික්ෂුවගේ ප්‍රතිඥාවෙන් කළ යුතු බැවින් අනියත නම් වෙයි.
  2. ආසනය ආවරණය නොවූවක් ද වෙයි. මෛථූන සේවනයට ද නුසුදුසුය. එහෙත් ස්ත්‍රියක හා අසභ්‍ය ව්‍යවහාරයෙන් කථා කරන්නට ප්‍රමාණවත් වෙයි. යම් භික්ෂුවක් හුදකලා ව ස්ත්‍රියක සමඟ එබඳු ආසනයක හිඳ ඇදහිය යුතු වචන ඇති උපාසිකාවක් එය දැක සඟවෙසෙසින් හෝ පචිතියෙන් හෝ චෝදනා කරයි. එසේ හිඳි බව ප්‍රතිඥා කරන භික්ෂුව ඒ ද්විවිධ ආපත්තීන් අතුරින් ප්‍රතිඥා කරන්නේ යම් ඇවතකින් ද එයින් ආරෝපණය කළ යුතු වෙයි. මේ ආපත්තිය ද භික්ෂුවගේ ප්‍රතිඥාවෙන් කළ යුතු හෙයින් අනියත නම් වෙයි.

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, විනය පිටකය, පාරාජිකාපාළි - පිටු අංක 484 - 497)

නිසැඟි කාණ්ඩය

  1. භික්ෂුව තමාගේ සිවුර නිම කළ කල්හි සහ කඨිනානිසංස උද්ධරණය (අවලංගු) වූ කල්හි භික්ෂුව විසින් දස දිනක් තුළ අතිරේක සිවුරක් දැරිය හැකිය. එය ඉක්මවන්නා හට නිසැඟි පචිති වෙයි.
  2. භික්ෂුව තමාගේ සිවුර නිම කළ කල්හි සහ කඨිනානිසංස උද්ධරණය වූ කල්හි සංඝයාගේ අනුමැතියක් නොමැති ව තුන් සිවුරින් වෙන් ව එක් රැයකුදු ගත කරන්නේ නම් ඔහුට නිසැඟි පචිති වෙයි.
  3. භික්ෂුව තමාගේ සිවුර නිම කළ කල්හි සහ කඨිනානිසංස උද්ධරණය වූ කල්හි භික්ෂුවකට නොකල් චීවරයක්* ලැබෙයි. කැමති නම් භික්ෂුව විසින් පිළිගත හැකිය. පිළිගෙන එයින් වහා සිවුරක් කරවිය යුතුයි. සිවුරකට නොසෑහේ නම් අඩුව සම්පූර්ණ කරගැනීම සඳහා බලාපොරොත්තු සහිත ව මාසයක් තැන්පත් කර ගත හැකිය. බලාපොරොත්තු ව ඇතත් මාසයකින් මත්තෙහි තබාගන්නා හට නිසැඟි පචිති වෙයි.
    * කඨිනය නො ඇතිරූ චීවර මාසය හැර ඉතිරි මාස 11 හෝ කඨින ආනිසංස ඇති කල්හි ඉතිරි මාස 7හි උපන් සිවුර නොකල් සිවුරකි.
  4. යම් භික්ෂුවක් නො නෑ වූ භික්ෂුණියක් ලවා පරණ සිවුරක් සෝදවා නම්, පඬු පොවවා නම්, අපුල්ලවා නම් (ඔහුට) නිසැඟි පචිති වෙයි.
  5. යම් භික්ෂුවක් නො නෑ වූ භික්ෂුණියක අතින් (සුළු දෙයකට හෝ) මාරු කර ගැනීමක් නැති ව සිවුරක් ගනී නම් (ඔහුට) නිසැඟි පචිති වෙයි.
  6. යම් භික්ෂුවක් නො නෑ වූ ගෘහපතියකු හෝ ගෘහනියක අතින්, සොරුන් විසින් පැහැර ගත් කල්හි හෝ දිරා ගොස් විනාශ වූ කල්හි හැර නොකල්හි සිවුරක් ඉල්වා ගනී ද (ඔහුට) නිසැඟි පචිති වෙයි.
  7. ඉදින් නො නෑ වූ ගෘහපතියෙක් හෝ ගෘහපතිනියක් ඒ (පැහැරගත් නැති වූ සිවුරු ඇති) මහණ හට කැමතිතාක් ගෙන යන්නට බොහෝ සිවුරින් පවරා නම් ඒ මහණහු විසින් හඳනා සිවුර හා උතුරු සඟ පරම කොට ඇති සිවුරක් එයින් ඉවසිය යුතුය. ඉදින් එයින් මත්තෙහි ඉවසා නම් නිසැඟි පචිති වෙයි.
  8. නො නෑ වූ ගෘහපතියෙක් විසින් හෝ ගෘහනියක විසින් ‘මේ මුදලින් සිවුරක් මිල දී ගෙන අසවල් භික්ෂුවට දෙන්නෙමි’ යි භික්ෂුවක් උදෙසා සිවුරු මුදලක් එකතු කරන ලද්දේ වෙයි. ඒ භික්ෂුව (දායක දායිකාවන් විසින්) සිවුරින් නොපවරන ලද්දේ, පළමු ව ඔවුන් කරා ගොස් හොඳ සිවුරක් බලාපොරොත්තුවෙන් ඒ මුදලින් ‘මෙ බඳු සිවුරක් මිලට ගෙන පුදව’ යි එහි ලා විධාන කරයි ද එබඳු විධානයකින් සිවුරක් ලබන භික්ෂුවට නිසැඟි පචිති වෙයි.
  9. නො නෑවූ ගෘහපතියන් දෙදෙනෙකු හෝ ගෘහනියන් දෙදෙනෙකු විසින් ‘මේ වෙන වෙන මුදලින් වෙන වෙන ම සිවුරු මිල දී ගෙන අසවල් භික්ෂුවට දෙන්නෙමු’ යි යම් භික්ෂුවක උදෙසා වෙන වෙන සිවුරු මුදල් එකතු කරන ලද්දේ වෙයි. ඒ භික්ෂුව ද (දායක දායිකාවන් විසින්) සිවුරින් නොපවරන ලද්දේ ම පළමු ව ඔවුන් කරා ගොස්, හොඳ සිවුරක් බලාපොරොත්තුවෙන් ඒ වෙන වෙන එකතු කළ මුදලින් ‘මෙ බඳු සිවුරක් මිලට ගෙන පුදව’ යි එහි ලා විධාන කරයි ද එබඳු විධානයකින් සිවුරක් ලබන භික්ෂුවට නිසැඟි පචිති වෙයි.
  10. භික්ෂුවක උදෙසා රජ, රජ ඇමති, බමුණු, ගෘහපති යනාදී මොවුන්ගෙන් කෙනෙක්, ‘මේ මුදලින් සිවුරක් මිලදී ගෙන අසවල් භික්ෂුවට දෙව’ යි කියා දූතයකු අත සිවුරු මිලයක් එවයි. දූතයා ද භික්ෂුව වෙත අවුත් “වහන්ස, ඔබ උදෙසා මේ සිවුරු මිල ගෙනෙන ලදි. මෙය පිළිගනු මැනැව” යි කියයි.
    එවිට ඒ භික්ෂුව විසින් “මිත්‍රය, අප සිවුරු මිල නො පිළිගනිමු. අවශ්‍ය වූ විටක දී සිවුරක් පිළිගන්නෙමු” යි කිව යුතු වෙයි. ඉදින් ඒ දූතයා ‘ඔබ වහන්සේගේ කිසියම් කැපකරුවෙකු ඇත්දැ’ යි විචාරණ ලද නම් ඉන් ප්‍රයෝජන ඇති භික්ෂුව ආරාමිකයෙකු හෝ උපාසකයෙකු ‘මොහු අපගේ කැපකරු’ යැයි දැක්විය යුතුයි. දූතයා ද ඔහු සිවුරු ගෙන දෙන බවට ගිවිස්වා භික්ෂුව වෙත ද ගොස් “වහන්ස, ඔබ දැක්වූ කැපකරුවා සිවුරු ගෙන දෙන බවට ගිවිස ගන්නා ලදි. අවශ්‍ය වූ විටෙක එහි යනු මැනව. ඔහු සිවුරු ගෙන දේවි” යැයි කියයි. ඉන් ප්‍රයෝජන ඇති භික්ෂුව කැපකරු කරා ගොස් (එක් වරකින් නො දේ නම්) දෙතුන් වරක් ඉල්විය යුතුය. එය සිහි කරවිය යුතුය. දෙතුන් වර ඉල්ලද්දී සිවුරු ලැබේ නම් මැනවි. නොඑසේ නම් සවැනි වර දක්වා එහි ගොස් නිශ්ශබ්ද ව සිටිය යුතුය. මෙසේ සිවුරු උදෙසා සිටින කල්හිත් නොලැබේ නම් සත් වැනි වර ද වෑයම් කරන්නාට ලැබෙන සිවුර නිසදිය යුත්තේය. (ඉල්වීමෙනුත් උදෙසා සිටීමෙනුත් ) සිවුරු නොලැබූ භික්ෂුව සිවුරු මිල එවූ අය වෙත ගොස් හෝ දුතයෙකු යවා ‘ඔබ අප වෙත එවූ සිවුරු මිලයෙන් වැඩක් නොවීය. එය ගෙන්වා ගනිත්වා’ යි (සිවුරු මිල හෝ ඔවුන්ගේ ශ්‍රද්ධාව හෝ විනාශ වනු නොකැමති භික්ෂුව විසින්) දැන්විය යුත්තේය. මේ ඒ පිළිබඳ පිළිවෙතයි.

පළමු වැනි චීවර වර්ගයයි.

  1. යම් භික්ෂුවක් කෝසෙය්‍ය නූල් (පට නූල්) මිශ්‍ර කිරීමෙන් එළු ලොම් ඇතිරියක් කරවන්නේ නම් (ඔහුට) නිසැඟි පචිති වෙයි.
  2. යම් භික්ෂුවක් කළු එළු ලොම්වලින් පමණක් ඇතිරියක් කරවන්නේ නම් (ඔහුට) නිසැඟි පචිති වෙයි.
  3. අලුත් ඇතිරියක් කරවන භික්ෂුව විසින් (ඊට අවශ්‍ය ප්‍රමාණයෙන්) දෙකොටසක් කළු එළු ලොම් ද තුන් වෙනි කොටස සුදු එළු ලොම් හා සිවු වැනි කොටස පඬුවන් එළු ලොම් ද ගත යුතුය. මේ නියමය ඉක්මවා අලුත් ඇතිරියක් කරවන්නේ නම් (ඔහුට) නිසැඟි පචිති වෙයි.
  4. අලුත් ඇතිරියක් කර වූ භික්ෂුව විසින් එය සය අවුරුද්දක් පාවිච්චි කළ යුතුය. ඉදින් ඒ ඇතිරිය කිසිවෙකුට දී හෝ නොදී හෝ සංඝයාගේ කැමැත්තක් නැති ව ඉන් මෙපිට නැවත අලුත් ඇතිරියක් කරවන භික්ෂුවට නිසැඟි පචිති වෙයි.
  5. නිසීදන සන්ථතයක් කරවන භික්ෂුව විසින් එය දුර්වර්ණ කිරීම පිණිස පරණ ඇතිරියෙන් සුගත් වියතක් පමණ කොටසක් හාත්පසින් ගත යුතුය. මෙසේ පරණ ඇතිරියෙන් කොටසක් යොදා නොගෙන අලුත් ඇතිරියක් කරවන භික්ෂුවට නිසැඟි පචිති වෙයි.
  6. මගට පිළිපන් භික්ෂුවකට එළු ලොම් ලැබ, කැමති නම් එය පිළිගත හැකිය. ගෙන යාමට කැපකරුවෙකු නැති නම් තුන් යොදුනක් සිය අතින් ම ගෙන ගිය හැකිය. කැපකරුවෙකු නැති ව එය ඉක්මවා සියතින් ම එළු ලොම් ගෙන යන භික්ෂුවට නිසැඟි පචිති වෙයි.
  7. යම් භික්ෂුවක් නො නෑ වූ භික්ෂුණියක ලවා එළු ලොම් සෝදවා නම්, සායම් කරවා නම් හෝ අවුල් හරවා නම් (ඔහුට) නිසැඟි පචිති වෙයි.
  8. යම් භික්ෂුවක් රන් රිදී මුදල් ගනී ද, අනෙකෙකු ලවා ගන්වා ද, ගෙනවිත් තබන ලද්දක් හෝ ඉවසා ද (ඔහුට) නිසැඟි පචිති වෙයි.
  9. යම් භික්ෂුවක් නොයෙක් අයුරින් මුදල් ගනුදෙනු කෙරේ නම් (ඔහුට) නිසැඟි පචිති වෙයි.
  10. යම් භික්ෂුවක් පාසිවුරු ආදී අනෙකුත් දැයෙන් නොයෙක් ගනුදෙනු කෙරේ නම් නිසැඟි පචිති වෙයි.

දෙවන කෝසිය වර්ගයයි.

  1. දස දිනක් උපරිම කොට අතිරේක පාත්‍රයක් දැරිය හැකිය. එය ඉක්මවන්නා වූ භික්ෂුවට නිසැඟි පචිති වෙයි.
  2. යම් භික්ෂුවක් පිළියම් පහකට වඩා අඩු පාත්‍රයක් තිබිය දී, අලුත් පාත්‍රයක් ඉල්වා ගනී නම් ඔහුට නිසැඟි පචිති වෙයි. ඒ භික්ෂුව විසින් ඉල්ලාගත් පාත්‍රය භික්ෂූන් හමුවෙහි නිසදිය යුත්තේය. භික්ෂූහු ද තම පිරිසෙන් (තෝරා ගැනීමෙන් පසු) ඉතිරි වූ අන්තිම පාත්‍රය දෙමින් ‘මෙය ඔබගේ පාත්‍රයයි. බිඳෙන තුරු පාවිච්චි කළ මැනව’ යි කිය යුත්තේය. මේ පාත්‍රය නිසදීමේ පිළිවෙතයි.
  3. ගිලන් භික්ෂුවක් විසින් අනුභව කටයුතු වූ ගිතෙල්, වෙඬරු, තල තෙල්, මී පැණි, උක් හකුරු යන පස් බෙහෙත් පිළිගෙන සත් දිනක් තුළ සුරක්ෂිත ව තබා ගෙන අනුභව කළ හැකිය. සත්වැනි දින ඉක්මවන භික්ෂුවට නිසැඟි පචිති වෙයි.
  4. ග්‍රීස්ම ඍතුවේ අන්තිම මාසය තුළ වැසි සළුවක් සොයා ගත යුතුය. එම ඍතුවේ ම අන්තිම අඩ මස තුළ පටන් එය පාවිච්චි කළ හැකිය. ඉන් මෙපිට වැසි සළුවක් සොයන්නා හට ද පරිභෝග කරන්නා හට ද නිසැඟි පචිති වෙයි.
  5. යම් භික්ෂුවක් වෙනත් භික්ෂුවකට තමා ම සිවුරක් දී පසු ව එය නො සතුටු සිත් ඇති ව කුපිත ව පැහැර ගනී ද අනෙකෙකු ලවා හෝ පැහැර ගන්වා ද නිසැඟි පචිති වෙයි.
  6. යම් භික්ෂුවක් තමා ම නූල් ඉල්වා ගෙන රෙදි වියන්නන් ලවා සිවුරක් වියවා ද (ඔහුට) නිසැඟි පචිති වෙයි.
  7. නො නෑ වූ ගෘහපතියෙක් හෝ ගෘහනියක් යම් කිසි භික්ෂුවක් උදෙසා වියන්නන් ලවා සිවුරක් වියවයි. (දායකයන්) ඒ භික්ෂුව සිවුරින් නො පවරන ලද්දේ ම වියන්නන් කරා ගොස් ‘මේ සිවුර වියන්නේ මා සඳහා මය. එහෙයින් දිගු කරවු! පළල් කරවු! ඝන ව නූල් එලලවු ! නූල් සම සේ එලලවු ! හොඳින් මැද වියවු! අප ද තොපට යමක් දෙන්නෙමු’ යි එහි ලා අධික විධානයට පැමිණියේ යටත් පිරිසෙයින් පිණ්ඩපාත පමණකුත් ඒ සඳහා දුන්නේ නම් නිසැඟි පචිති වෙයි.
  8. වස් පවාරණයට දස දිනක් තබා භික්ෂුවකට ඉක්මන් කටයුත්තක් සඳහා පුදන ලද සිවුරක් ලැබෙයි. ඒ බව දත් භික්ෂුව විසින් පිළිගත යුත්තේය. එසේ පිළිගෙන සිවුරු කරන කාලය පැමිණෙන තෙක් උපරිම කොට තැබිය හැකිය. ඉන් මත්තෙහිත් තබා ගන්නා භික්ෂුවට නිසැඟි පචිති වෙයි.
  9. සැක කටයුතු වූ ද භය සහිත වූ ද අරණ්‍ය සේනාසනයක වාසය කරන භික්ෂුව සොරු ආදීන්ගෙන් භය සහිත නම් පෙර වස් වැස ඉල් මස මැදි පොහොය දක්වා කාලය තුළ තුන් සිවුරෙන් එකක් ඇතුළු ගමෙහි තැබිය හැකිය. මෙබඳු අවස්ථාවක තුන් සිවුරෙන් වෙන් ව සිටිනු කැමති භික්ෂුව විසින් එසේ විසිය යුත්තේ රෑ සයක් පමණි. සංඝයාගේ නියමයක් නැති ව ඉන් මත්තෙහිත් තුන් සිවුරෙන් වෙන් ව වසන භික්ෂුවට නිසැඟි පචිති වෙයි.
  10. යම් භික්ෂුවක් සංඝයාට පිරිනමන ලද්දක් දැන දැන තමාට පිරිනමා ගනියි නම් නිසැඟි පචිති වෙයි.

තුන්වෙනි පත්ත වර්ගයයි.

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, විනය පිටකය, පාරාජිකපාළි - පිටු අංක 498 - 641)

පචිති කාණ්ඩය

  1. දැන දැන බොරු කීමෙහි පචිති වෙයි.
  2. ජාතිය, කුලය ආදිය ගටා බිණීමෙහි පචිති වෙයි.
  3. භික්ෂූන් අතර සමඟිය බිඳෙන අයුරෙන් කේළාම් කීමෙහි පචිති වෙයි.
  4. යම් භික්ෂුවක් අනුපසම්පන්නයෙකු හට පද විසින් ධර්මය කියවා නම් පචිති වෙයි.
  5. යම් භික්ෂුවක්, අනුපසම්පන්නයෙකු සමඟ දෙතුන් රැයකින් මත්තෙහි එක් ව සයනය කරන්නේ නම් පචිති වෙයි.
  6. යම් භික්ෂුවක්, ස්ත්‍රියක සමඟ සයනය කරන්නේ නම් පචිති වෙයි.
  7. යම් භික්ෂුවක්, ස්ත්‍රියකට සතර පස් පදයෙකින් මත්තෙහි දැනුමැති පිරිමියෙකු නැති ව දහම් දෙසන්නේ නම් පචිති වෙයි.
  8. යම් භික්ෂුවක්, අනුපසම්පන්නයෙකුට තමා කෙරෙහි වූ උතුරු මිනිස් දහම් කියා ද පචිති වෙයි.
  9. යම් භික්ෂුවක්, වෙනත් භික්ෂුවක ගේ දුළුල් ඇවතක් අනුපසම්පන්නයෙකුට භික්ෂු සම්මුතියෙන් තොර ව කියා නම් පචිති වෙයි.
  10. යම් භික්ෂුවක්, පොළොව සාරා ද අනෙකෙකු ලවා හෝ සාරවා ද පචිති වෙයි.

ප්‍රථම මුසාවාද වර්ගයයි.

  1. වැඩෙන ගහ කොළ සිඳීමෙන් විනාශ කිරීමෙන් පචිති වෙයි.
  2. සංඝයා අතර විචාළ දෙය හැර අනෙකක් කීමෙහි ද නිශ්ශබ්ද ව හිඳීමෙන් සංඝයා වෙහෙස කිරීමෙහි ද පචිති වෙයි.
  3. ගැරහීමෙහි, අගුණ කීමෙහි පචිති වෙයි.
  4. යම් භික්ෂුවක් සඟ සතු (සංඝයා සඳහා වෙන් කළ) ඇඳක් හෝ පුටුවක් හෝ බිස්සක් හෝ වේ වැල් පුටුවක් එළිමහනේ අතුරා හෝ අතුරුවා බැහැර යන්නේ, එය තැන්පත් නොකරන්නේ නම් හෝ තැන්පත් නොකරවන්නේ නම් හෝ යම් කිසිවකුට නොදන්වා යන්නේ නම් පචිති වෙයි.
  5. යම් භික්ෂුවක් සඟ සතු අරමක සයනයක් අතුරා හෝ අතුරවා, නිසි පරිදි තැන්පත් නොකර හෝ අනෙකෙකු ලවා තැන්පත් නොකරවා හෝ යම් කිසිවෙකුට නොදන්වා බැහැර යන්නේ නම් පචිති වෙයි.
  6. යම් භික්ෂුවක් සඟ සතු වෙහෙරක්හි දැන දැන පළමු ව පැමිණි භික්ෂූහු අතුරෙහි පිවිස ‘යමෙකුට කරදර වන්නේ නම් ඔහු බැහැර යන්නේ’යැයි අනෙකක් නො ව මෙය ම කරුණු කොට ගෙන සයනය කරන්නේ නම් පචිති වෙයි.
  7. යම් භික්ෂුවක් කිපියේ, නොසතුටු සිත් ඇත්තේ සඟ සතු අරමකින් බැහැර කරයි ද, කරවයි ද පචිති වෙයි.
  8. යම් භික්ෂුවක් සඟ සතු වෙහෙරක උඩු මහල් කුටියක අටනියෙහි සවිකළ පාද ඇති ඇඳක හෝ පුටුවක හෝ හිඳින්නේ නම් හෝ නිදන්නේ නම් හෝ පචිති වෙයි.
  9. ලොකු විහාරයක් කරවන භික්ෂුව විසින් උළුවස්ස ශක්තිමත් වීම සඳහාත් වා කවුළු පිරියම් පිණිසත් (නැවත නැවත මැටි) ආලේප කළ යුතු වෙයි. වහල ද තණ කැරළි එක පිට එක සිටින පරිදි සෙවිලි කළ යුතුය. තණ ගැට නැති බිමක පිහිටා එය දෙතුන් වරක් විධාන කළ යුතු වෙයි. තෘණාදිය නැති තන්හිදු දෙතුන් වරකට වඩා විධාන කළේ නම් පචිති වෙයි.
  10. යම් භික්ෂුවක් දැන දැන පණුවන් සහිත ජලය තණ කොළවලට හෝ මැටිවලට හෝ ඉසින්නේ නම් හෝ ඉස්වන්නේ නම් හෝ පචිති වෙයි.

දෙවන භූතගාම වර්ගයයි.

  1. යම් භික්ෂුවක් අසම්මත වූයේ මෙහෙණන් හට ඔවා දෙන්නේ නම් පචිති වෙයි.
  2. සම්මත වූ භික්ෂුවක විසින් ද හිරු අවරට ගිය කල්හි මෙහෙණන් හට ඔවා දෙන්නේ නම් පචිති වෙයි.
  3. යම් භික්ෂුවක් සුදුසු සමය තබා මෙහෙණවරට එළඹ මෙහෙණන් හට ඔවා දෙන්නේ නම් පචිති වෙයි. එහි මේ සුදුසු සමයයි. මෙහෙණක් ගිලන් වූවා වේ නම් මේ එහි සුදුසු සමයයි.
  4. යම් භික්ෂුවක් ‘ආමිසයක් හේතු කොට ගෙන භික්ෂූහු මෙහෙණන් හට ඔවා දෙති’ යි මෙසේ කියන්නේ නම් පචිති වෙයි.
  5. යම් භික්ෂුවක් නො නෑ වූ මෙහෙණකට සුළු දෙයකින් හෝ මාරු කර ගැනීමක් නැති ව සිවුරක් දෙන්නේ නම් පචිති වෙයි.
  6. යම් භික්ෂුවක් නොනෑ මෙහෙණකට සිවුරක් මසන්නේ නම් හෝ මස්වන්නේ නම් පචිති වෙයි.
  7. යම් භික්ෂුවක් මෙහෙණක සමඟ කථා කොට ගෙන යටත් පිරිසෙයින් අන් ගමකට සුදුසු සමය තබා එක් ව අදන් (දීර්ඝ) මගට පිවිසෙන්නේ නම් පචිති වෙයි. එහි මේ සුදුසු සමයයි. ගැල් සාත්තුවක් හා යා යුතු වූ මාර්ගය වෙයි. සැක සහිත යැයි සම්මත වෙයි. බිය සහිත වෙයි. මේ එහි සුදුසු සමයයි.
  8. යම් භික්ෂුවක් මෙහෙණක සමඟ ගිවිස ගෙන උඩු ගං බලා යන්නා වූ හෝ යටි ගං බලා යන්නා වූ එක් නැවකට සරසින් (හරහට) එතර වීමක් හැර නගින්නේ නම් පචිති වෙයි.
  9. යම් භික්ෂුවක් පෙර ගිහියන් විසින් පිළියෙළ කරන ලද්දක් හැර මෙහෙණක විසින් නිපදවන ලද පිණ්ඩපාතය වළඳන්නේ නම් පචිති වෙයි.
  10. යම් භික්ෂුවක් එකලා වූයේ එකලා වූ මෙහෙණක සමඟ පිළිසන් (ආවරණය වූ) තැනක හිඳීම කරන්නේ නම් පචිති වෙයි.

තුන්වන භික්ඛුනෝවාද වර්ගයයි.

  1. නොගිලන් මහණහු විසින් එක් ආගන්තුක දානයක් වැළඳිය යුතු ය. ඉදින් එයින් මත්තෙහි වළඳන්නේ නම් පචිති වෙයි.
  2. සුදුසු සමය හැර ගණ බොජුනෙහි* පචිති වෙයි. එහි මේ සුදුසු සමය වෙයි. ගිලන් සමයයැ, සිවුරු දෙන සමයයැ, සිවුරු කරන සමයයැ, දීර්ඝ මාර්ගයට පැමිණි සමයයැ, නැව් නගින සමයයැ, මහා සමයයැ, මහණ බත් (පැවිද්දකු විසින් සකස් කළ බතක්) සමය යැ. මේ සුදුසු සමයයි.
    * ගණ බොජුන - යම් තැනක භික්ෂූහු සතර දෙනෙක් පස් බොජුන් (බත්, පිට්ටු, බැදපු හාල් පිටි (අත්සුණු), දිය මස්, ගොඩ මස්) අතුරින් එක්තරා බොජුනකින් නිමන්ත්‍රණය ලදුවෝ වළඳත්. මේ ගණ භෝජනය නම් වෙයි.
  3. සුදුසු සමය තබා පරම්පර භොජනයේ* පචිති වෙයි. එහි මේ සුදුසු සමයයි. ගිලන් සමය යැ සිවුරු දෙන සමය යැ සිවුරු කරන සමය යැ මේ එහි සුදුසු සමයයි.
    * පරම්පර භෝජනය - පස් බොජුන් අතුරින් එක්තරා බොජුනකින් නිමන්ත්‍රණය කරන ලද්දේ එය හැර පස් බොජුන් අතුරින් එක්තරා අන් බොජුනක් වළඳයි. මේ පරම්පර භෝජනය නම් වෙයි.
  4. කුලයකට පැමිණි භික්ෂුවක් හට (ගෙහිමියන් විසින්) පඬුරු පිණිස හෝ මාර්ගෝපකරණ පිණිස පිළියෙල කළ දෙයක් හෝ පවරණ ලද නම් කැමති වන භික්ෂුව විසින් දෙතුන් පාත්‍රයක් පුරා පිළිගත හැකිය. ඊට වඩා පිළිගන්නා හට පචිති වෙයි. දෙතුන් පාත්‍රයක් පුරා ගත් භික්ෂුව එය ගෙන ගොස් භික්ෂූන් අතර බෙදා ගෙන වැළඳිය යුතුය. මේ ඒ පිළිබඳ පිළිවෙතයි.
  5. යම් භික්ෂුවක් වැළඳුයේ පවාරණය කරන ලදුයේ අතිරික්ත නො වූ කෑ යුතු දැයක් හෝ බුදිය යුතු දැයක් කන්නේ නම් හෝ වළදන්නේ නම් පචිති වෙයි.
  6. යම් භික්ෂුවක් වළඳා නිමි කළ පවාරණය කළ භික්ෂුවක වෙත එළවා අතිරික්ත නො කළ කෑ යුතු දැයෙකින් හෝ බුදිය යුතු දැයකින් මහණ කන්නේයැ හෝ බුදින්නේයැ හෝ යි ගටනු කැමැත්තේ දැන දැන පවරන්නේ නම් එම භික්ෂුව වැළඳුවහොත් පචිති වෙයි.
  7. යම් කිසි භික්ෂුවක් විකාලයෙහි කෑ යුතු දැයක් හෝ බුදිය යුතු දැයක් කා නම් හෝ බුදී නම් පචිති වෙයි.
  8. යම් භික්ෂුවක් තැන්පත් කොට තැබූ කෑ යුතු දැයක් හෝ බුදිය යුතු දැයක් කා නම් හෝ බුදී නම් පචිති වෙයි.
  9. යම් බඳු පිණි බොජුන් එනම්, ගිතෙල්, වෙඬරු, තල තෙල්, මී පැණි, උක් සකුරු, දිය මස්, ගොඩ මස්, කිරි, දී යන එ බඳු වූ පිණි බොජුන් යම් භික්ෂුවක් නොගිලන් ව තමා පිණිස ඉල්ලා ගෙන වළඳන්නේ නම් පචිති වෙයි.
  10. යම් භික්ෂුවක් දැහැටු පැන් හැර නොපිළිගන්වන ලද අහරක් ගල බිලයට ගන්නේ නම් පචිති වෙයි.

සිව්වන භෝජන වර්ගයයි.

  1. යම් භික්ෂුවක් නිගණ්ඨයෙකුට හෝ පරිබ්‍රාජකයෙකුට හෝ පරිබ්‍රාජිකාවකට තම අතින් කෑ යුතු හෝ බුදිය යුතු දෙයක් දෙන්නේ නම් පචිති වෙයි.
  2. යම් භික්ෂුවක් වෙනත් භික්ෂුවකට “එව ඇවත්නි, ගමට හෝ නියම් ගමට හෝ පිඬු පිණිස පිවිසෙම්හ” යි කතා කර ඔහුට දී හෝ නොදී “යව ඇවත්නි, තොප සමඟ කතා කිරීම හෝ හිඳීම මට පහසු නොවෙයි. තනි වූ මට කතා කිරීම හෝ හිදීම පහසු වේ” යැයි අන් කරුණක් නොව මෙය ම කරුණු කොට ගෙන හරවා යවන්නේ නම් පචිති වෙයි.
  3. යම් භික්ෂුවක් අඹු සැමි යුවළ සහිත කුල ගෙයක ඇතුළට ගොස් හිඳීම කරන්නේ නම් පචිති වෙයි.
  4. යම් භික්ෂුවක් ස්ත්‍රියක සමඟ රහසිගත ව වැසුණු අසුනක ඉඳගෙන සිටින්නේ නම් පචිති වෙයි.
  5. යම් භික්ෂුවක් එකලා වූයේ එකලා වූ ස්ත්‍රියක සමඟ රහසිගත අසුනක ඉඳගෙන සිටින්නේ නම් පචිති වෙයි.
  6. යම් භික්ෂුවක් නිමන්ත්‍රණය කරන ලදුයේ, බොජුන් සහිත වූයේ, සුදුසු සමය හැර, සිටින භික්ෂුවක් නො විචාරා පෙර බත්හි හෝ පසු බත්හි හෝ කුලයන්ගේ හැසිරීමට පැමිණේ නම් පචිති වෙයි. එහි මේ සුදුසු සමයයි. සිවුරු දෙන සමය, සිවුරු කරන සමය, මේ එහි සුදුසු සමයයි.
  7. නො ගිලන් භික්ෂූහු විසින් සිවු මසකට ගිලන්පසයෙන් පැවරීම ඉවසිය යුතුයි. සිවු මසකින් පසු ව නැවත කරන පැවරීම හෝ නිත්‍ය පැවරීම හෝ හැර ඉන් මත්තෙහි ඉවසන්නේ නම් පචිති වෙයි.
  8. යම් භික්ෂුවක් සුදුසු කරුණක දී හැර යුද්ධයට නික්මුණු සේනාව දකිනු පිණිස යයි නම් පචිති වෙයි.
  9. යම් භික්ෂුවකට යුද පිණිස නික්මුණු සිවුරඟ සෙනඟ තුළ කිසියම් කටයුත්තක් ඇත්නම් දෙතුන් රැයක් සේනාව සමඟ කඳවුරෙහි විසිය හැකිය. ඉන් මත්තෙහිත් වසන භික්ෂුවට පචිති වෙයි.
  10. ඉදින් භික්ෂුව යුද කඳවුරෙහි දෙතුන් දිනක් වසන්නේ එතෙකුදු වත් යුද්ධ කරන තැන්, භටයන්ගේ පෙරෙට්ටු බලසෙන් නවත්වන තැන්, බළ ඇණි ආදිය බැලීම සඳහා නොයා යුතුය. යන්නාට පචිති වෙයි.

පස්වෙනි අචේලක වර්ගයයි.

  1. රහමෙර බීමෙහි පචිති වෙයි.
  2. ඇඟිලි වලින් කිති කැවිමේ පචිති වෙයි.
  3. දිය කෙළියෙහි පචිති වෙයි.
  4. ශික්ෂාවන්ට හෝ අවවාද කළවුන්ට ගැරහීමෙහි පචිති වෙයි.
  5. යම් භික්ෂුවක් වෙනත් භික්ෂුවක බිය ගන්වා නම් පචිති වෙයි.
  6. යම් භික්ෂුවක් නො ගිලන් ව විශේෂ කරුණක් හැර ගිනි තප්නා කැමැත්තේ ගිනි දල්වවා නම් පචිති වෙයි.
  7. යම් භික්ෂුවක් කාලයෙහි හැර අඩ මසක් ඇතුළත ස්නානය කරන්නේ නම් පචිති වෙයි. ග්‍රීස්ම සෘතුවේ අන්තිම මාස එකහමාර හා වස්සාන සෘතුවේ පළමුවෙනි මාසය වශයෙන් පැවති දෙමස් පසළොස් දවස ද, දාහ ගතිය ඇති කාලය, ගිලන් කාලය, කර්මාන්ත කාලය, දිග් මගකට යා යුතු කාලය හා දුවිලි සහිත වාතය ඇති කාලය ද (අඩ මසක් ඇතුළත ) ස්නානය කළ යුතු කාලයෝයි. (පර්යන්ත දේශවලට මෙම ශික්ෂා පදය බලපාන්නේ නැත.)
  8. අලුත් සිවුරක් ලැබූ භික්ෂුව විසින් එය දුර්වර්ණ කිරීම පිණිස (කප් බින්දු තැබීම වශයෙන්) නිල් පාට හෝ මඩ පාට හෝ කළු පාට ගත යුතුයි. මේ වර්ණයෙනුත් එක ද වර්ණයක් නො ගන්වා අලුත් සිවුරක් පරිභෝග කරන භික්ෂුවට පචිති වෙයි.
  9. යම් භික්ෂුවක් භික්ෂු, භික්ෂුණී, සික්ඛමානා, සාමණේර, සාමණේරීන්ට තමා ම සිවුරක් විකප්පනය කොට (පවරා) පසු ව පච්චුද්ධරණය (ඉදිරීම) නො කොට පරිභෝග කෙරේ නම් පචිති වෙයි.
  10. යම් භික්ෂුවක් යටත් පිරිසෙයින් කෙළි රිසියේ නමුදු භික්ෂුවක්ගේ පාත්‍රයක් හෝ සිවුරක් හෝ නිසීදනයක් හෝ ඉඳිකටු ගුලාවක් හෝ පටියක් හෝ සඟවන්නේ නම් හෝ පචිති වෙයි.

හය වැනි සුරාපාන වර්ගයයි.

  1. යම් භික්ෂුවක් දැන දැන සතකුගේ දිවි තොර කෙරේ නම් පචිති වෙයි.
  2. යම් භික්ෂුවක් දැන දැන පණුවන් සහිත ජලය පරිභෝග කරන්නේ නම් පචිති වෙයි.
  3. යම් භික්ෂුවක් ධර්ම වූ පරිද්දෙන් සංසිඳුවන ලද අධිකරණයක් දැන දැන යලි කරණු පිණිස මතු කරලන්නේ නම් පචිති වෙයි.
  4. යම් භික්ෂුවක් භික්ෂුවක්ගේ දුළුල් ඇවතක් (පරිජි සහ සංඝාදිසේස) දැන දැන සඟවන්නේ නම් පචිති වෙයි.
  5. යම් භික්ෂුවක් දැන දැන අවුරුදු විස්සට අඩු පුද්ගලයෙකු උපසම්පදා කරවා නම් ඔහු උපසම්පදා නොවූයේ වෙයි. ඒ භික්ෂූහු ද ගැරහිය යුත්තෝය. ඒ උපාධ්‍යය භික්ෂුවට පචිති වෙයි.
  6. යම් භික්ෂුවක් දැන දැන හොර වෙළඳ සාත්තුවක් සමඟ සාකච්ඡා කොට දිර්ඝ මඟකට පිවිසියේ යටත් පිරිසෙයින් ගමකින් අනෙක් ගමකට හෝ යයි ද ඔහුට පචිති වෙයි.
  7. යම් භික්ෂුවක් ස්ත්‍රියක සමඟ සාකච්ඡා කොට දිර්ඝ මගකට පිළිපන්නේ යටත් පිරිසෙයින් ගමකින් අනෙක් ගමකට හෝ යයි ද පචිති වෙයි.
  8. යම් භික්ෂුවක් යම් මේ දහම් කොටසක් භාග්‍යවතුන් වහන්සේ විසින් අන්තරායකර යැයි වදාරන ලද නමුත් ඒ ධර්මයන් සේවනය කරන්නා හට ‘අන්තරාය පිණිස නොපවතී, ධර්මය අනුව එය මම දනිමි’ යි කියා නම්, සෙසු භික්ෂුන් ඔහුට මෙසේ කිව යුතු වන්නේය. “ඇවත්නි, එසේ නොකියව, භාග්‍යවතුන් වහන්සේ අභිභවනය නොකරව. භාග්‍යවතුන් වහන්සේට ගැරහීම සුදුසු නොවෙයි. මක් නිසා ද යත් භාග්‍යවතුන් වහන්සේ එසේ නොවදාරන ලද්දේය. එහෙයින් ඇවත්නි, භාග්‍යවතුන් වහන්සේ යම් මේ ධර්ම කෙනෙක් අන්තරායකර යැයි වදාරන ලද නම් ඒ ධර්මයන් සේවනය කරන්නා හට අන්තරාය පිණිස පවතින්නේ ම ය”. මෙසේ පියවි භික්ෂූන් විසින් කියනු ලබද්දීත් යථෝක්ත භික්ෂුව එම මතය ම ගෙන සිටී නම් තුන් වරක් ම කිය යුතුය. තෙවැනි වර ද එම දෘෂ්ටිය නොහළේ නම් පචිති වෙයි.
  9. යම් භික්ෂුවක් බුදු රජාණන් වහන්සේට නුගුණ කියන්නා වූ, පැමිණි ඇවතට පිළියම් නොකළා වූ, ලාමක දෘෂ්ටීන් අත් නොහළා වූ, යථෝක්ත ඇවත්වන් භික්ෂුව සමඟ දැන දැන ධර්ම ආමිස සම්භෝගය පවත්වා ද, උපෝසථාදී සංඝකර්ම කෙරේ ද, එක ගෙයි හෝ සයනය කෙරේ ද ඔහුට පචිති වෙයි.
  10. යම් සාමණේරයෙක් ‘භාග්‍යවතුන් වහන්සේ විසින් යම් දහම් කොටසක් අන්තරායකර යයි වදාරන ලද නමුත් ඒ ධර්මයන් සේවනය කරන්නා හට අන්තරාය පිණිස නොපවතී, ධර්මය අනුව එය මම දනිමි’ යි කියා නම් භික්ෂූන් විසින් ඔහුට මෙසේ කිව යුතු වන්නේය. “සාමණේරය, එසේ නොකියව, භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරව, භාග්‍යවතුන් වහන්සේට ගැරහීම සුදුසු නොවෙයි. මක් නිසාද, භාග්‍යවතුන් වහන්සේ එසේ නොවදාරන ලද හෙයිනි. එම්බා සාමණේරය, භාග්‍යවතුන් වහන්සේ යම් ධර්ම කෙනෙක් අන්තරායකර යැයි වදාරන ලද නම් ඒ ධර්මයන් සේවනය කරන්නා හට අන්තරාය පිණිස පවතින්නේ ම ය”. මෙසේ භික්ෂූන් විසින් ඔහුට කියනු ලබද්දීත් යථෝක්ත සාමණේර නම ඒ මතය ම ගෙන සිටී නම්, නැවත ඒ භික්ෂූන් විසින් ‘අද පටන් තොප ශාස්තෘන් වහන්සේ නො ඇදහිය යුත්තේය. අන් සාමණේරයෝ දෙතුන් රැයක් වුව ද භික්ෂුන් සමඟ විසීමට ඉඩ ලබත් ද එය ද තොපට නොවන්නේය. එහෙයින් කැමති තැනක යව’ යි කිව යුතු වන්නේය. යම් භික්ෂුවක් ඒ බව දැන දැනත් නෙරපන ලද එබඳු සාමණේරයකු සමඟ කථා කෙරේ ද, උවටැන් කරවා ගනී ද, සම්භෝගය පවත්වා ද එක ගෙයි සයනය හෝ කෙරේ ද ඔහුට පචිති වෙයි.

සත්වැනි සප්පාණක වර්ගයයි.

  1. යම් භික්ෂුවක් වෙනත් භික්ෂුවක විසින් විනයානුකූල ව අවවාද කරනු ලබන කල්හි “ඇවත්නි, මම අනෙක් ව්‍යක්ත විනයධරයකු අතින් නොවිචාරා මේ ශික්ෂා පදයෙහිලා නොහික්මෙන්නෙමි” යි කියා නම් පචිති වෙයි. හික්මීම කැමති භික්ෂුව විසින් වස්තු නිදානාදිය දත යුතුය. පිළිවිසිය යුතුය. කෙසේද කෙසේදැයි විමසිය යුත්තේය. මේ එහි අනුධර්මතායි.
  2. පාමොක් උදෙසනු ලබන කල්හි යම් භික්ෂුවක් ‘මේ කුඩා අනුකුඩා සිකපද උදෙසීමෙන් කවර වැඩෙක් ද හුදෙක් කුකුස් පිණිස, වෙහෙස පිණිස, සැක පිණිස වැටෙති’ යි මෙසේ කියන්නේ නම් සිකපද ගැරහීමෙහි පචිති වෙයි.
  3. යම් භික්ෂුවක් අඩමසක් පාසා පාතිමොක්ඛය දේශනා කරනු ලබන කල්හි “ඇවැත්නි, මේ විනය කොටස් පෙළෙහි ආයේලු. පෙළට ඇතුළත්ලු. සෑම අඩමසකට වරක් උදෙසාලු. එහෙත් මා දැනගත්තේ දැන් ම ය” යි කියා නම්, සීමාවේ භික්ෂූන් විසින් එබඳු භික්ෂුවක් ප්‍රාතිමෝක්ෂය දේශනා කරන කල්හි අඩු ම වශයෙන් දෙතුන් වරක් සිටි බව දන්නාහු නම් ඔහුට ඒ නොදැනීම පමණකින් නිදහස් වීමක් නොවෙයි. ඒ භික්ෂුව එම වරදෙහි ලා යම් ඇවතකට පැමිණියේ නම් ඊට සුදුසු දඬුවම් කරවිය යුතුය. එසේ ම “ඇවැත්නි, පාමොක් උදෙසනු ලබන කල්හි ඔබ අර්ථ වශයෙන් මෙනෙහි නො කරන්නෙහිය. එය තොපට අලාභයකි. මිනිසත් බව දුර්ලභ”යැයි ඔහුට මෝහාරෝපණ කර්මය කරවිය යුත්තේය. නැවතත් මුළාවෙන් පෙර පරිදි ම කියන භික්ෂුවට පචිති වෙයි.
  4. යම් භික්ෂුවක් කුපිත ව නො සතුටු සිත් ඇති ව වෙනත් භික්ෂුවකට පහර දෙයි නම් පචිති වෙයි.
  5. යම් භික්ෂුවක් කුපිත ව නො සතුටු සිත් ඇති ව වෙනත් භික්ෂුවකට පහර දීමේ අදහසින් අත් පා සැත් ආදිය ඔසවා ද (අන්තිම වශයෙන් නෙළුම් පතකින් වුව ද) පචිති වෙයි.
  6. යම් භික්ෂුවක් හේතු රහිත වූ සඟවෙසෙස් ඇවතකින් භික්ෂුවකට චෝදනා කෙරේ නම් පචිති වෙයි.
  7. යම් භික්ෂුවක් වෙනත් භික්ෂුවකට ‘මොහොතකට හෝ මොහුට කරදරයක් ඇති කරන්නෙමි’ යි සිතා අනෙක් කාරණයක් නැති ව ම කුකුස් උපදවා නම් පචිති වෙයි.
  8. යම් භික්ෂුවක් හටගත් ඩබර ඇති හටගත් කලහ ඇති විරුද්ධ වාදයට පැමිණි භික්ෂූන්ගේ බස් ඇසෙන තැන්හි ‘මොහු යමක් බෙණෙත් නම් එය අසන්නේමැ’ යි අනෙකක් නොව මෙය මැ කරුණු කොට සිටින්නේ නම් පචිති වෙයි.
  9. යම් භික්ෂුවක් දැහැමි විනය කර්මයකට ඡන්දය දී පසු ව දොස් කියා ද පචිති වෙයි.
  10. යම් භික්ෂුවක් සඟමැද විනිශ්චය කථාවක් පවත්නා කල්හි ඡන්දය නො දී හුනස්නෙන් නැඟිට බැහැර යන්නේ නම් පචිති වෙයි.
  11. යම් භික්ෂුවක් සමඟි සංඝයා සමඟ භික්ෂුවකට සිවුරක් දී පසු ව භික්ෂුහු විශ්වාසයන්ට (හිතවතුන්ට) සංඝයාගේ ලාභය පිරිනමත් යයි පසු ව ගරහන බවට පැමිණේ නම් පචිති වෙයි.
  12. යම් භික්ෂුවක් දැන දැන සඟ සතු (සංඝයා සඳහා වෙන් කළ) දැය පුද්ගලයකුට පවරා ද පචිති වෙයි.

අටවැනි සහ ධම්මික වර්ගයයි.

  1. යම් භික්ෂුවක් පෙර නොදන්වන ලද්දේ රජු නික්ම නොගිය කල්හි මෙහෙසිය නික්ම නොගිය කල්හි මුදුනෙහි අභිසෙස් කළ ක්ෂත්‍රිය රජක්හු ගේ යහන් ගෙයි එළිපත ඉක්මවා නම් පචිති වෙයි.
  2. යම් භික්ෂුවක් රුවන් හෝ රුවන් යැයි සම්මත වූ දෙයක් ආරාමය හෝ ආවාසය තුළ දී හැර ඔසවා ගනී ද, අනෙකකු ලවා හෝ ගන්වා ද පචිති වෙයි. ‘මෙය අයිතිකරු ගෙන යේවා’ යි සිතා එවැනි දෙයක් ආරාමය හෝ ආවාසය තුළ දී ඔසවා හෝ අනුන් ලවා ඔසවා හෝ තැබිය හැකිය. මේ ඒ පිළිබඳ පිළිවෙතයි.
  3. යම් භික්ෂුවක් අවශ්‍ය ඉක්මන් කටයුක්තකදී හැර (ආරාමස්ථ) භික්ෂුවකට නොදන්වා නොකල්හි ගම් වදී නම් පචිති වෙයි.
  4. යම් භික්ෂුවක් ඇටමුවා හෝ දළමුවා හෝ අංමුවා හෝ හිදි ගුළාවක් කරවා නම් භේදනක පචිති වෙයි.
  5. අලුත් ඇඳක් හෝ පුටුවක් කරවන භික්ෂුව විසින් යට විට්ටම හැර සුගත් අඟුලෙන් අඟුල් 8 ක් පා ඇති ව කරවිය යුතුය. එය ඉක්මවන්නා හට ඡේදනක පචිතිය වෙයි. (සිඳ දමා දෙසිය යුතු පචිතිය වෙයි.)
  6. යම් භික්ෂුවක් ඇඳක හෝ පුටුවක පුළුන් ගවසා නම් (කුෂන් කරයි නම්) උද්දාලනක පචිති වෙයි. (පුළුන් උදුරා දැමීමෙන් පසු ව දෙසිය යුතු පචිතිය වෙයි.)
  7. නිසීදනයක් කරවනු කැමති මහණහු විසින් පමණින් යුතු කොට කරවිය යුතුය. එහි මේ ප්‍රමාණයයි. දිගින් සුගත් වියතින් දෙවියතකි. පළලින් වියත් එකහමාරකි. දහවලුව වියතකි. එය ඉක්මවන්නා හට ජේදනක පචිතිය වෙයි.
  8. කණ්ඩුපටිච්ඡාදනක සිවුරක් (කුෂ්ට රෝගාදියක් වසා අඳින රෙද්දක්) කරවන භික්ෂුව විසින් එය ප්‍රමාණ ලෙස කරවිය යුතුය. දිගින් සුගත් වියතින් වියත් සතරක් හා පළලින් වියත් දෙකක් විය යුතුය. මේ එහි ප්‍රමාණයයි. මෙය ඉක්මවන්නා හට ජේදනක පචිතිය වෙයි.
  9. වැසි සළුවක් කරවන භික්ෂුව විසින් එය ප්‍රමාණ ලෙස කරවිය යුතුය. මේ එහි ප්‍රමාණයයි. දිගින් සුගත් වියතින් වියත් සයකි. පළලින් වියත් දෙකහමාරකි. මේ නියමය ඉක්මවන්නා හට ඡේදනක පචිතිය වෙයි.
  10. යම් භික්ෂුවක් සුගත් සිවුර තරම් සිවුරක් හෝ ඊට වඩා ලොකු සිවුරක් හෝ කරවා නම් ජේදනක පචිතිය වෙයි. මේ සුගතයන් වහන්සේගේ සිවුරේ ප්‍රමාණයයි. දිගින් සුගත් වියතින් වියත් නවයකි. පළලින් වියත් හයකි.

නව වැනි රතන වර්ගයයි.

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා , විනය පිටකය, පාචිත්තියපාළි, භික්ඛු විභඞ්ගය - පිටු අංක 2 - 463)

පාටිදේසනීය කාණ්ඩය

  1. යම් භික්ෂුවක් ඇතුළු ගමට පිවිස ඥාති නොවූ භික්ෂුණියකගේ අතින් කෑ යුතු දැයක් හෝ බුදිය යුතු දැයක් හෝ සියතින් පිළිගෙන වළඳා නම් එබඳු භික්ෂුව විසින් “ඇවැත්නි, ගැරහිය යුතු වූ යෝග්‍ය නොවූ නැවත අනුන්ට දෙසිය යුතු වූ ඇවතකට පැමිණියෙමි” යි (භික්ෂූන් හමුවෙහි) ඇවැත් දෙසිය යුතුය.
  2. භික්ෂූහු දායක කුලයක් හි ආරාධනා ලැබ ගොස් වළඳමින් සිටිති. එහිදී භික්ෂුණියක් “මෙහි බත් බෙදව, මෙහි හොදි බෙදව, මෙහි ව්‍යඤ්ජන බෙදව”යැයි විධාන කරමින් සිටී නම් එහි සිටි භික්ෂූන් විසින් “නැගණිය, භික්ෂූන් වළඳා අවසන් වන තුරු තොප මෙයින් ඉවතට යව” යි ඉවත් කළ යුතුය. වළඳමින් සිටි එක ද භික්ෂුවකටවත් ඇය ඉවත් කිරීමට නොවැටහුණි නම් ඒ භික්ෂූන් විසින් “ඇවැත්නි, ගැරහිය යුතු වූ අයෝග්‍ය වූ නැවත අනුන්ට දෙසිය යුතු වූ ඇවතකට පැමිණියෙමු” යි (භික්ෂූන් හමුවෙහි) ඇවැත් දෙසිය යුතුය.
  3. යම් නොගිලන් භික්ෂුවක් සේඛ සම්මුතිය ලැබු ගෙවල්වලට කලින් නොපවරන ලද්දේ ම එළඹ, කෑ යුතු දැයක් හෝ බුදිය යුතු දැයක් සියතින් පිළිගෙන වළඳා නම් ඒ භික්ෂුව විසින් “ඇවැත්නි, ගැරහිය යුතු වූ අයෝග්‍ය වූ නැවත අනුන්ට දෙසිය යුතු වූ ඇවතකට පැමිණියෙමි” යි භික්ෂූන් හමුවෙහි ඇවත් දෙසිය යුතුය.
  4. යම් නොගිලන් භික්ෂුවක් සැක සහිත වූ ද භය සහිත වූ ද ආරණ්‍ය සෙනසුනෙක් හි වසමින් කලින් නොදන්වන ලද කෙනෙකුගෙන් කෑ යුතු දැයක් හෝ බුදිය යුතු දැයක් හෝ සියතින් පිළිගෙන වළඳා නම් ඒ භික්ෂුව විසින් “ඇවැත්නි, ගැරහිය යුතු වූ අයෝග්‍ය වූ නැවත දෙසිය යුතු වූ ඇවතකට පැමිණියෙමි” යි (භික්ෂූන් හමුවෙහි) ඇවත් දෙසිය යුතුය.

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, විනය පිටකය, පාචිත්තියපාළි, භික්ඛු විභඞ්ගය - පිටු අංක 464 - 487)

සේඛියා කාණ්ඩය

  1. ‘පිරිමඩුලු කොට සිවුරු (අඳනය) හඳින්නෙමි’ යි හික්මිය යුතුය.
  2. ‘පිරිමඩුලු කොට සිවුරු පොරවන්නෙමි’ යි හික්මිය යුතුය.
  3. ‘සුපිළිසන් ව ඇතුළු ගමෙහි යන්නෙමි’ යි හික්මිය යුතුය.
  4. ‘සුපිළිසන් ව ඇතුළු ගමෙහි හිඳින්නෙමි’ යි හික්මිය යුතුය.
  5. ‘මොනවට සංවර ව ඇතුළු ගමෙහි යන්නෙමි’ යි හික්මිය යුතුය.
  6. ‘මොනවට සංවර ව ඇතුළු ගමෙහි හිඳින්නෙමි’ යි හික්මිය යුතුය.
  7. ‘යටට හෙළා ගත් ඇස් ඇති ව ඇතුළු ගමෙහි යන්නෙමි’ යි හික්මිය යුතුය.
  8. ‘යටට හෙළා ගත් ඇස් ඇති ව ඇතුළු ගමෙහි හිඳින්නෙමි’ යි හික්මිය යුතුය‍.
  9. ‘ඔසවන ලද සිවුරෙන් යුතු ව අතුළු ගමෙහි නොයන්නෙමි’ යි හික්මිය යුතුය.
  10. ‘ඔසවන ලද සිවුරෙන් යුතු ව ඇතුළු ගමෙහි නොහිඳින්නෙමි’ යි හික්මිය යුතුය‍.

පළමු වැනි පරිමණ්ඩල වර්ගයයි.

  1. ‘මහ හඬින් සිනාසෙමින් ඇතුළු ගමෙහි නොයන්නෙමි’ යි හික්මිය යුතුය.
  2. ‘මහ හඞින් සිනාසෙමින් ඇතුළු ගමෙහි නොහිඳින්නෙමි’ යි හික්මිය යුතුය.
  3. ‘අල්ප ශබ්ද ඇතියෙම් ඇතුළු ගමෙහි යන්නෙමි’ යි හික්මිය යුතුය.
  4. ‘අල්ප ශබ්ද ඇතියෙම් ඇතුළු ගමෙහි හිඳින්නෙමි’ යි හික්මිය යුතුය.
  5. ‘කය සොලවමින් ඇතුළු ගමෙහි නොයන්නෙමි’ යි හික්මිය යුතුය.
  6. ‘කය සොලවමින් ඇතුළු ගමෙහි නොහිඳින්නෙමි’ යි හික්මිය යුතුය.
  7. ‘අත් සල සලා ඇතුළු ගමෙහි නොයන්නෙමි’ යි හික්මිය යුතුය.
  8. ‘අත් සල සලා ඇතුළු ගමෙහි නොහිඳින්නෙමි’ යි හික්මිය යුතුය.
  9. ‘හිස සල සලා ඇතුළු ගමෙහි නොයන්නෙමි’ යි හික්මිය යුතුය.
  10. ‘හිස සල සලා ඇතුළු ගමෙහි නොහිඳින්නෙමි’ යි හික්මිය යුතුය.

දෙවනි උජ්ජග්ඝික වර්ගයයි.

  1. ‘උකුළෙහි තැබූ අත් ඇතියෙම් ඇතුළු ගමෙහි නොයන්නෙමි’ යි හික්මිය යුතුය.
  2. ‘උකුළෙහි තැබූ අත් ඇතියෙම් ඇතුළු ගමෙහි නොහිඳින්නෙමි’ යි හික්මිය යුතුය.
  3. ‘හිස වසා පෙරව ඇතුළු ගමෙහි නොයන්නෙමි’ යි හික්මිය යුතුය.
  4. ‘හිස වසා පෙරව ඇතුළු ගමෙහි නොහිඳින්නෙමි’ යි හික්මිය යුතුය.
  5. ‘ඇතුළු ගමෙහි උළුලුයෙන් (විළුඹ හෝ ඇඟිලි බිම අනිමින්) නොහිඳින්නෙමි’ යි හික්මිය යුතුය.
  6. ‘අතින් හෝ වස්ත්‍රයකින් දණහිස් බැඳ ගෙන ඇතුළු ගමෙහි නොහිඳින්නෙමි’ යි හික්මිය යුතුය.
  7. ‘ගෞරව ඇති ව පිඬුවා පිළිගන්නෙමි’ යි හික්මිය යුතුය.
  8. ‘පාත්‍ර සංඥාව ඇති ව පිඬු පිළිගන්නෙමි’ යි හික්මිය යුතුය.
  9. ‘බතට අඩු වැඩි නො වූ සූප කොටසක් ඇති ව පිණ්ඩපාතය පිළිගන්නෙමි’ යි හික්මිය යුතුය.
  10. ‘පාත්‍රයේ ඇතුල් මුව විට හා සම ව පිඬු පිළිගනිමි’ යි හික්මිය යුතුය.

තෙවැනි ඛම්භකත වර්ගයයි.

  1. ‘සකසා පිඬුවා වළඳන්නෙමි’ යි හික්මිය යුතුය.
  2. ‘පාත්‍රගත සංඥී ව පිඬුවා වළඳන්නෙමි’ යි හික්මිය යුතුය.
  3. ‘පිළිවෙළ අනුව පිඬුවා වළඳන්නෙමි’ යි හික්මිය යුතුය.
  4. ‘බතට සුදුසු සූප ඇති ව පිඬුවා වළඳන්නෙමි’ යි හික්මිය යුතුය.
  5. ‘බතේ මුදුනෙන් අනා පිඬුවා නොවළඳන්නෙමි’ යි හික්මිය යුතුය.
  6. ‘වැඩිපුර ලබනු කැමත්ත නිසා සූප හෝ ව්‍යංජන හෝ බතින් වැසීම නොකරන්නෙමි’ යි හික්මිය යුතුය.
  7. ‘නො ගිලන් ව සූප හෝ බත් තමා පිණිස ඉල්ලා ගෙන නොවළඳන්නෙමි’ යි හික්මිය යුතුය.
  8. ‘ගරහනු කැමති ව අනුන්ගේ පාත්‍රය දෙස නොබලන්නෙමි’ යි හික්මිය යුතුය.
  9. ‘ඉමහත් කොට බත් පිඬු නොකරන්නෙමි’ යි හික්මිය යුතුය.
  10. ‘පිරිමඬුලු කොට බත්පිඬු කරන්නෙමි’ යි හික්මිය යුතුය.

සිව්වැනි සක්කච්ච වර්ගයයි.

  1. ‘බත් පිඬු මුවට ළං වනතුරු මුව දොර විවෘත නොකරන්නෙමි’ යි හික්මිය යුතුය.
  2. ‘වළඳමින් මුළු අත මුවෙහි නොබහාලන්නෙමි’ යි හික්මිය යුතුය.
  3. ‘මුව තුළ ආහාර ඇති ව කථා නොකරමි’ යි හික්මිය යුතුය.
  4. ‘බත් පිඬු මුව තුළට විසි කරමින් නොවළඳමි’ යි හික්මිය යුතුය.
  5. ‘බත් පිඬු කඩ කඩා අනුභව නොකරමි’ යි හික්මිය යුතුය.
  6. ‘හක්කෙහි බත් පුරවා ගෙන නොවළඳමි’ යි හික්මිය යුතුය.
  7. ‘අත ගසා දමමින් නොවළඳමි’ යි හික්මිය යුතුය.
  8. ‘බත් ඇට විසුරුවමින් නොවළඳමි’ යි හික්මිය යුතුය.
  9. ‘දිව නෙරවමින් නොවළඳමි’ යි හික්මිය යුතුය.
  10. ‘චපු චපු යන ශබ්ද ඇතිවන සේ නොවළඳමි’ යි හික්මිය යුතුය.

පස්වැනි කබල වර්ගය යි.

  1. ‘සුරු සුරු හඬ කෙරෙමින් න වළඳන්නෙමි’ යි හික්මිය යුතුය.
  2. ‘අත ලෙව කමින් නොවළඳන්නෙමි’ යි හික්මිය යුතුය.
  3. ‘පාත්‍රය ලෙව කමින් නොවළඳන්නෙමි’ යි හික්මිය යුතුය.
  4. ‘තොල් ලෙව කමින් නොවළඳන්නෙමි’ යි හික්මිය යුතුය.
  5. ‘ඉඳුල් සහිත අතින් පැන් භාජනය නොපිළිගනිමි’ යි හික්මිය යුතුය.
  6. ‘බත් ඇට සහිත පාත්‍රය දෙවූ දිය ඇතුළු ගෙයි නොදමන්නෙමි’ යි හික්මිය යුතුය.
  7. ‘සත් දරා සිටි නොගිලන් කෙනෙකුට දහම් නොදෙසමි’ යි හික්මිය යුතුය.
  8. ‘සැරයටියක් ගත් නොගිලන් කෙනෙකුට දහම් නොදෙසමි’ යි හික්මිය යුතුය.
  9. ‘ශස්ත්‍ර ගත් නොගිලන් කෙනෙකුට දහම් නොදෙසමි’ යි හික්මිය යුතුය.
  10. ‘ආයුධයක් ගත් නොගිලන් කෙනෙකුට දහම් නොදෙසමි’ යි හික්මිය යුතුය.

සයවැනි සුරුසුරු වර්ගයයි.

  1. ‘පය ලූ මිරිවැඩි ඇති නොගිලන් හට දහම් නොදෙසන්නෙමි’ යි හික්මිය යුතුය‍.
  2. ‘පය ලූ වහන් ඇති නොගිලන් හට දහම් නොදෙසන්නෙමි’ යි හික්මිය යුතුය‍.
  3. ‘රථයක (යානයක) සිටිනා වූ නොගිලන් හට දහම් නොදෙසන්නෙමි’ යි හික්මිය යුතුය‍.
  4. ‘ඇඳක නිදන නොගිලන් හට දහම් නොදෙසන්නෙමි’ යි හික්මිය යුතුය‍.
  5. ‘අතින් හෝ වස්ත්‍රයකින් දෙ දන බැඳ සිටින නොගිලන් හට දහම් නො දෙසන්නෙමි’ යි හික්මිය යුතුය‍.
  6. ‘හිස් වෙළුම් සහිත නොගිලන් හට දහම් නො දෙසන්නෙමි’ යි හික්මිය යුතුය‍.
  7. ‘හිස වසා පෙරවූ නොගිලන් හට දහම් නො දෙසන්නෙමි’ යි හික්මිය යුතුය‍.
  8. ‘තමා බිම හිඳ අසුනක සිටින නොගිලන් හට දහම් නො දෙසන්නෙමි’ යි හික්මිය යුතුය‍.
  9. ‘තමා පහත් අසුනක හිඳ උස් අසුනක හුන්නා වූ නොගිලන් හට දහම් නො දෙසන්නෙමි’ යි හික්මිය යුතුය‍.
  10. ‘තමා සිට ගෙන, හිඳ සිටින නොගිලන් කෙනෙකුට දහම් නොදෙසන්නෙමි’ යි හික්මිය යුතුය‍.
  11. ‘තමා පසුපසින් යමින් ඉදිරියෙන් යන්නා වූ නොගිලන් කෙනෙකුට දහම් නොදෙසන්නෙමි’ යි හික්මිය යුතුය‍.
  12. ‘තමා නොමඟින් යමින් මඟින් යන නොගිලන් කෙනෙකුට දහම් නොදෙසන්නෙමි’ යි හික්මිය යුතුය‍.
  13. ‘නොගිලන් ව සිට ගෙන මල මූත්‍ර නොකරමි’ යි හික්මිය යුතුය‍.
  14. ‘නොගිලන් ව නිල් තණ බිමක මල මූත්‍ර නො කරමි. කෙළ නොගසමි’ යි හික්මිය යුතුය‍.
  15. ‘නොගිලන් ව ජලයේ මල මූත්‍ර නො කරමි. කෙළ නොගසමි’ යි හික්මිය යුතුය.

සත්වැනි පාදුකා වර්ගයයි.

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, විනය පිටකය, පාචිත්තියපාළි, භික්ඛු විභඞ්ගය - පිටු අංක 448 - 555)

අධිකරණ සමථ

  1. සති විනය
    යම් පිරිසිදු භික්ෂුවකට වෙනත් භික්ෂුවක් හෝ භික්ෂූ පිරිසක් අමුලික සීල විපත්තියෙන් (පරාජිකාවකින් හෝ සංඝාදිසේසයකින්) චෝදනා කරති. එවිට එම පිරිසිදු භික්ෂුව විසින් සති විනය නමැති සමථ ක්‍රමය ලබා දෙන මෙන් සමඟි සංඝයාගෙන් ආයාචනා කරයි. එවිට දැහැමින් සමඟි ව එම සංඝයා විසින් පිරිසිදු භික්ෂුවට සති විනය නමැති සමථ ක්‍රමය ලබා දී එම අධිකරණය සමථයට පත් කරනු ලබති.
  2. අමුළ්හ විනය
    යම් භික්ෂුවක් සිත් පෙරළීමෙන් උමතු වූයේ වෙයි. සිත් පෙරළීමෙන් උමතු වූ ඔහු විසින් කයෙන් සහ වචනයෙන් නොයෙක් වැරදි දේ කරන ලද වෙයි. භික්ෂුන් විසින් එම භික්ෂුවට ඇවැත්වලින් චෝදනා කරනු ලබති. එවිට එම භික්ෂුව මෙසේ කියයි. “ස්වාමීන් වහන්ස, මම සිත් පෙරළීමෙන් උමතු වී සිටියෙමි. කයෙන් සහ වචනයෙන් නොයෙකුත් වැරදී සිදුවී ඇත. නමුත් මට ඒ කිසිවක් මතක නැත”. මෙසේ පැවසුව ද එම භික්ෂුවට චෝදක භික්ෂූන් විසින් නැවත චෝදනා කරයි. එවිට සිහි මුළාවට පැමිණි සිටි භික්ෂුව විසින් මෙම අධිකරණය සමථයට පත්කර ගැනීම සඳහා සංඝයාගෙන් අමූළ්හ විනය අයැද සිටියි. සමඟි සංඝයා විසින් සිත් පෙරළියට පත්ව සිට එය සුව වූ භික්ෂුවට දැහැමි කර්මයකින් අමුළ්හ විනය ලබා දී මෙම අධිකරණය සමථයකට පත් කරති.
  3. ප්‍රතිඥාතකරණය
    භික්ෂුවක් හෝ භික්ෂූන් හෝ විසින් ඇවත් සිදු වූ භික්ෂුවකට සිදු වූ ඇවතින් චෝදනා කරයි. එවිට එම භික්ෂුව විසින් සිදු වූ සත්‍ය ඇවත ම තමා අතින් වූ බව පිළිගනියි. එවිට සමඟි සංඝයා විසින් දැහැමි ව එම ඇවැත්වලට අදාළ පිළියම් කරනු ලබති. මේ අයුරින් මෙම අධිකරණය සමථයකට පත් කරයි.
  4. යෙභුය්‍යසිකාව
    යම් කලෙක භික්ෂූහු සංඝයා මැද දී උපන් කලහ ඇත්තාහු ඩබර ඇත්තාහු විවාද කරන සුලු වූ ඔවුනොවුන් මුඛයෙන් බැණ ගනිමින් වාසය කරති. මෙම අධිකරණ කිහිප විටක විනිශ්චය කර සමථයකට පත් කළ ද එය අවසන් නොවෙයි. එවිට මෙම අධිකරණය විසඳීම සඳහා යෙභූය්‍යසිකාව නැමති සමථ ක්‍රමය යොදා ගැනෙයි. එහි දී ඡන්දයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හා බියෙන් අගතියට නොයන එක් භික්ෂුවක් සලාක (සීට්ටු) ගන්වන්නෙකු කොට සම්මත කරයි. එම භික්ෂුව විසින් සීට්ටු ගන්වා, ධර්මවාදී පිරිස වැඩි නම් එම අධිකරණය සමඟි සංඝයා විසින් දැහැමි ව සංසිඳවනු ලබයි. මේ අයුරෙන් මෙවැනි අධිකරණ සමථයකට පත් කරයි.
  5. තස්සපාපිය්‍යසිකාව
    යම් භික්ෂුවකට සංඝයා මැද දී ඇවතින් ප්‍රශ්ණ කරනු ලබන විට අවමන් කොට පිළිගනියි. පිළිගෙන අවමන් කෙරෙයි. එකෙකින් අනෙකක් වසාලයි. දැන දැන බොරු කියයි. මේ අයුරින් පාපී ස්වභාවයන් ඇති භික්ෂුවට සමඟි සංඝයා විසින් දැහැමි විනය කර්මයකින් තස්සපාපිය්‍යසිකාව නමැති කර්මය සිදු කරති. මෙම විනය කර්මය සිදුකළ භික්ෂුව විසින් කාරණා දහ අටකින් යුක්ත වූ වත (හැසිරිය යුතු පිළිවෙත) පිරිය යුතුය. මෙවැනි ආකාරයේ අධිකරණ තස්සපාපිය්‍යසිකාව නමැති සමථ ක්‍රමයෙන් සංසිඳවනු ලබති.
  6. තෘණවස්තාරකය
    බොහෝ භික්ෂූන් විසින් උපන් ඩබර ඇති ව, උපන් කලහ ඇති ව, විවාද කරමින්, කයින් ද වචනයෙන් ද බොහෝ අශ්‍රමණ කර්ම කරන ලද්දේ වෙයි. එකිනෙකාගේ ඇවැත්වලට පිළියම් කිරීමට යෑමේ දී එම අධිකරණ බොහෝ රළු බව සැඩ බව පිණිස භේදය පිණිස පවතින්නේය. මෙ වැනි අධිකරණයක් පවතින අවස්ථාවක බරපතල වැරදි හෝ ගිහියන්ට සම්බන්ධ වැරදි හෝ හැර අනෙක් සියලු වැරදි (ඇවත්) තණ කොළින් කසළ වසන්නාක් මෙන් තෘණවස්තාරකයෙන් සංසිඳීමට පත් කරති. එහි දී ඩබර කරගත් දෙපාර්ශවයේ ම ව්‍යක්ත ප්‍රතිබල භික්ෂූන් දෙදෙනෙකු විසින් ඔවුනොවුන්ගේ වැරදි තෘණවස්තාරකයෙන් දේශනා කරනු ලබති. මෙසේ මෙවැනි අධිකරණ තෘණවස්තාරකය නමැති සමථ ක්‍රමය භාවිතයෙන් සංසිඳීමට පත්කරනු ලබයි.

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, විනය පිටකය, චුල්ලවග්ගපාළි, සමථක්ඛන්ධනය - පිටු අංක 332 - 435)


බාගත ​කිරීමට