සුවඳ මල් පිරවූ, මැණික් හා රත්තරනින් සැරසූ ශ්‍රේෂ්ඨ යානයක වාඩි වී සිටින දෙව් දුවක් එක් එක් ආකාරයේ ඉර්ධි ප්‍රාතිහාර්ය දක්වන්නීය. ඇය වටා අප්සරාවෝ ගී ගයති. නටති. ඇය සතුටු කරවති.
ඇයගේ පුණ්‍ය ඵලයට හේතුව ඇය විසින් මෙසේ පැවසුවාය.
“මම පෙර ආත්මයේ ධනවත් පවුලක ලේලියක් වෙලයි හිටියේ. මගේ ස්වාමියා ක්‍රෝධ නොකරන කෙනෙක්. මමත් එයාට කීකරු ව සිටියා. මම යොවුන් වියේ සිට ම පතිව්‍රතාව රැක්කා. සැමියා සතුටු වෙන විදිහට ජීවත් වුණා. දිවා රාත්‍රී දෙකේ ම හිතේ සතුට ඇති වන ආකාරයට හැසිරුණා.
මම පන්සිල් පද හොඳින් රැක ගත්තා. ඒ වගේ ම සතර පෝයට ම උපෝසථය සමාදන් වෙලා ආරක්ෂා කළා. ඒ විදිහට උපෝසථ සීලය ආරක්ෂා කරන විට හිතට හරි ම ප්‍රීතියක් දැනුණේ. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය සැප විපාක ලබා දෙනවා. මම ඉස්සර ඉඳන් ම බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක්.
මා මිනිස් ලෝකයේ දී කළ ඒ පින් නිසා තමයි මේ ආකාරයේ දිව්‍ය සැප විඳින්නේ. සුන්දර ප්‍රාසාදයක අප්සරාවන් පිරිවරා ගෙන සිටින මාව දෙවිවරු සතුටු කරනවා. මං මේ පැමිණුනේ දීර්ඝායුෂ ඇති දිව්‍ය විමානයකටයි”.