ඉතාමත් අලංකාර රූපයක් හිමි සතර දිශාවේ ම බබළන දිව්‍යාංගනාවක් දුටු මුගලන් මහ තෙරුන් වහන්සේ මෙසේ විමසූ සේක.
“පින්වත් දෙව් දුව, මෙවැනි මහානුභාව සම්පන්න බබළන සිරුරක් හා මේ සැප සම්පත් ලබන්න පෙර ආත්මයේ ඔබ කළ පින කුමක්ද?”
මේ පැනයෙන් සතුටු වූ දෙව් දුව මෙසේ පිළිතුරු දුන්නාය.
“මා පෙර ආත්මයේ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබුණු, සිල් රැක්ක, දන් දුන්න උපාසිකාවක්. සෘජු සිත් ඇති ආර්යයන් වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කළා. සතර පෝයට උපෝසථය සමාදන් වෙලා එය ආරක්ෂා කළා. හැමදාම සිල් පදවල සංවර වුණා. කාටත් දන් පැන් බෙදා දුන්නා. එහෙමයි ගෙදර ජීවත් වුණේ. පන්සිල් පද කැමැත්තෙන් ම ආරක්ෂා කළා. චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න මා දක්ෂ වුණා. ඒ නිසා ගෞතම බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වුණා.
ඒ පිනෙනුයි මට මේ සම්පත් ලැබුණේ.
මේ නන්දන උයන ගැන මට අහන්න ලැබුණා. ඒකෙ උපදින්න මට ආශාවක් ඇති වුණා. තව්තිසාවේ සිත පිහිට වූ නිසා මා මෙහි ඉපදුණා.
ශාස්තෘන් වහන්සේගේ වචනය අනුගමනය කළේ නැති නිසා මේ හීන වූ කාම ලෝකයට ආවා. දැන් මම පසුතැවෙනවා”.
නැවතත් මුගලන් මහ තෙරුන් වහන්සේ ඇයගෙන් මෙසේ ඇසූ සේක.
“ඔබ මේ දිව්‍ය විමානයේ කොපමණ කල් ජීවත් වනවා ද?”
“ස්වාමීනි, අවුරුදු තුන්කෝටි හැටලක්ෂයක් මට ආයුෂ තිබෙනවා. ඉන් පසු චුත වී මිනිස් ලොව උපදිනවා”.
දිව්‍යාංගනාව පිළිතුරු දුන්නාය.
මොග්ගල්ලාන තෙරුන් වහන්සේ විසින් මෙසේ වදාළ සේක.
“උපෝසථා දෙව් දුව බිය නොවන්න. ඔබ සෝතාපන්න වී සිටින නිසා සතර අපායේ වැටෙන්නේ නැහැ”.