Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / සීල කථා /

ඔබත් තව්තිසා දෙව් ලොව ඉපදීමට කැමති ද
පන්සිල් රකිමින් දහම් මගෙහි ගමන් කරන්න

දාසීවිමානය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය, විමානවත්ථුපාළි, චිත්‍රලතා වර්ගය - පිටු අංක 36 - 39)

සොඳුරු චිත්‍රලතා වනයේ දිව්‍යාංගනාවන් පිරිවරා සිටින ඕෂධී තාරකාව මෙන් බබළන දිව්‍යාංගනාවක් සිටියාය. ඇයගේ සිරුරින් විහිදෙන එළියෙන් හැම දිශාව ම බබළයි. මේ දෙව් දුව දුටු මුගලන් මහ තෙරුන් වහන්සේ ඇයගෙන් මේ සැපයන්ට හේතු වූ පින කුමක්දැයි විමසූ සේක.

සතුටු වූ දෙව් දුව මෙසේ ප්‍රකාශ කළාය.

“මම අතීතයේ මිනිස් දුවක් වෙලා හිටියේ. ඒ කාලෙ මං අනුන්ගේ ගෙවල්වල බැළ මෙහෙවරකම් කළා. මම උතුම් වූ ගෞතම බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් බවට පත් වුණා. මට ඕනෑ වුණේ මේ ශාසනයේ ම සසරින් නිදහස් වෙන්නයි. මම ධර්මය අවබෝධ කරන්න වීර්ය වැඩුවා. ලොව්තුරු නිවනට මග සලසන පංච සීලය ආරක්ෂා කළා. ඒ උත්සාහයේ ප්‍රතිඵල තමයි මේ.

සක් දෙවිඳුගේ අල්ලාප සල්ලාපයට මාවත් කැඳවනවා. මාව සතුටින් තියන්න හැටදහසක් තූර්ය භාණ්ඩ වාදනය වෙනවා. දෙවි දේවතාවියො මා ඉදිරියට ඇවිත් නටලා ගයලා මාව සතුටු කරනවා. ශෝක නැති තව්තිසා දෙවියන්ගේ රම්‍ය වූ නන්දන මහ වනය ලැබෙන්නේ පින් කළ අයට විතරමයි. පින් නොකළ අයට දෙව් ලොව සැප නැහැ.

තව්තිසා දෙව් ලොව දෙවියන් හා එක් වන්න කවුරු හරි කැමති නම් බොහෝ සෙයින් කුසල් රැස් කළ යුතුයි. පින් කළ අය දෙව් ලොව ඉපිද සැප සම්පත් ලබා සතුටු වෙනවා”.


බාගත ​කිරීමට