ඉරබටු තරුව සේ බබළන, ඉතා ලස්සන, ප්‍රියමනාප සිරුරක් හිමි දෙව් දුවක් දුටු මුගලන් මහ රහතන් වහන්සේ ඇයගෙන් මෙසේ විමසූ සේක.
“ඔබට මේ වගේ ලස්සන සිරුරක් ලැබුණේ මොන වගේ පිනක් කරලා ද?”
මේ පැනයෙන් ඉතා සතුටු වූ දෙව් දුව මෙසේ පිළිතුරු දුන්නාය.
“මම රජගහ නුවර සුනන්දා නමින් ඉපදිලා සිටි ශ්‍රද්ධාවන්ත, සිල්වත් උපාසිකාවක්. සිල්වත්, ගුණවත් ස්වාමීන් වහන්සේලාට සිවුරු, ආහාර, සේනාසන, තෙල් පහන් නිතර දන් දුන්නා. ඒවා කළේ පැහැදුණු සිතින්මයි. ඒ වගේ ම සතර පෝයට අෂ්ටාංග උපෝසථය සමාදන් වීමට අමතක කළේ නැහැ. නිතිපතා පංච සීලය ආරක්ෂා කළ නිසා සිත, කය, වචනයෙන් සංවර වූ මා දන් පැන් බෙදා දෙමින් ගිහි ගෙයි වාසය කළා.
චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීමේ දක්ෂතාවයක් මා තුළ තිබුණා. ඒ නිසා උතුම් බුදු රජාණන් වහන්සේගේ උපාසිකාවක් වුණා.
මගේ මේ සියලු සැප සම්පත්වලට හේතු වුණේ ඒ කළ කුසල කර්මමයි. සිතට සතුට උපදවන සියලු සැප සම්පත් මට පහළ වෙනවා ඒ පිනෙන්. මගේ ශරීරයේ පැහැයෙන් සියලු දිශාවන් බබළනවා”.