එක් ප්‍රේතයෙක් දුටු අජාසත් රජු ඔහුගෙන් මෙසේ විමසුවේය. “නිර්වස්ත්‍ර, කෙට්ටු ඔබ පැවිද්දෙක් ද? මේ රෑ යන්නේ කොහේද? මට පුළුවන් නම් ඔබට වස්තුව දෙන්නම්”.
ප්‍රේතයා මේ අයුරින් පිළිතුරු දුන්නේය.
“සුප්‍රසිද්ධ බරණැස් නුවර ගෘහපතියෙක් වෙලා මම හිටියේ. කම් සැපයට ගිජු වෙලා දුස්සීල ව සිටි මම දන් දුන්නේ නැහැ. ඉතිං මා මිය ගිහින් ඉපදුණේ පෙරේත ලෝකෙ. ඒ පව් නිසා බඩගින්නේ ඉන්නේ. ඇඟට ඉඳිකටුවලින් අනිනවා වගෙයි. කෑම, බීම හොයා ගෙන නෑයන් ලඟට ගියත් ඒ අයත් දානයේ විපාකය නොදන්නා නිසා දන් දෙන්නේ නැහැ. මගේ දුව බ්‍රාහ්මණයින් ගෙන්වා කෑම බීමවලින් සළකනවා. මම මොනවා හරි අනුභව කරන්න හිතා ගෙන එතනට යනවා”.
රජතුමා ද පූජාවක් කර ප්‍රේතයාට පින් දෙන බව පවසා නැවත එන ලෙසත් දන්වන ලදි.
ප්‍රේතයා දානය දෙන තැනට ගිය නමුත් මාර්ග ඵල ලාභී ආර්ය ශ්‍රාවකයන් දානයට නොවැඩි නිසා ඔහුට පින් නොලැබිණි. ප්‍රේතයා නැවත අජාසත් රජු ඉදිරියට පැමිණ බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ ආර්ය සංඝ රත්නයට දන් දී, සිවුරු පූජා කර ඔහුට පින් අනුමෝදන් කරන ලෙස ඉල්ලීය.
රජතුමා සියතින් ම මහා දානයක් පූජා කර, තථාගතයන් වහන්සේට ද විස්තරය පැවසීය. ප්‍රේතයාට පින් අනුමෝදන් කරන ලදි. ඒ පින ලැබූ ප්‍රේතයා දිව්‍ය සෝභාවෙන් බැබළි බැබළී රජතුමා ඉදිරියේ පහළ විය. දානයේ අනුහසින් තමන් මහත් සැප සම්පත් ලැබූ බවත්, සුවපත් වූ බවත් පැවසීය.