මුගලන් මහ රහතන් වහන්සේ එක් දෙව් දුවකගෙන් මෙසේ විමසූ සේක.
“පින්වත් දෙව් දුව, මෙතරම් ලස්සන, ප්‍රිය උපදවන, සතර දිශාවේ ම බබළන ශරීරයක් ලබන්න ඔබ කළ පින කුමක් ද? ඔබ මහානුභාව සම්පන්නයි”.
දෙව් දුව මෙසේ පිළිතුරු දුන්නාය.
“මම රජගහ නුවර විසූ සද්ධා නම් උපාසිකාවක්. මට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් තිබුණා. ඒ වගේ ම පන්සිල් රැක්කා.
සෘජු ගුණ ඇති ආර්යයන් වහන්සේලාට ආහාර, වස්ත්‍ර, සේනාසන, තෙල් පහන් පූජා කළා.
සතර පෝයට ම අෂ්ටාංග උපෝසථය සමාදන් වී ආරක්ෂා කළා.
ඉඳුරන් සංවර කර ගත්තා.
කාටත් දන් පැන් බෙදා දුන්නා. ඒ විදිහටයි ගිහි ගෙයි වාසය කළේ.
නිති පන්සිල් ආරක්ෂා කළ මට චතුරාර්ය සත්‍ය ධර්මය තේරුම් ගැනීමට තරම් දක්ෂකමක් තිබුණා. ඒ නිසාමයි බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වුණේ.
මෙන්න මේ වගේ පින්කම් කරලා තමයි මට මේ බබළන සිරුර සහ සියලු සැප සම්පත් ලැබුණේ”.