මල් පැළඳ ගෙන, ඔටුන්නක් හිසලා ගෙන, අත් පාවල ආභරණ පැළඳ ගෙන, සඳුන් කල්ක ඇඟ තවරා ගෙන සිටින ප්‍රේතයාගේ මුව මඬල හරි ම ප්‍රසන්නය. හිරුගේ පැහැයෙන් බබළයි. එමෙන් ම ඔහුට පරිවාර ජනයා සිටි අතර ඒ අය දිව්‍ය පිරිසකි. උපස්ථායිකාවන් ලෙස දිව්‍ය කාන්තාවන් දසදහසක් වූහ. ඔවුහු සක් වළලු සහ වටිනා පළඳනා ආදිය පැළඳ ගෙන සිටියෝය.
මහානුභාව සම්පන්න මෙම ප්‍රේතයා දකින විට ලොමු ඩැහැ ගැන්වෙයි. නමුත් ඔහු තමාගේ ම පිටේ මස් කඩා ගෙන කන්නේය. මෙම ප්‍රේතයා දුටු නාරද ස්වාමීන් වහන්සේ මෙවැනි උපතකට හේතු වූ කර්මය කුමක්දැයි විමසූ සේක.
ප්‍රේතයා මෙසේ පිළිතුරු දුන්නේය.
“මම මනුස්ස ලෝකයේ සිටින කාලයේ මට අයහපත පිණිසයි ජීවත් වුණේ. කේළාම් කීමෙන්, බොරු කීමෙන්, කපටි වැඩවලින්, වංචාවෙන් ජීවිතය ගත කළේ. පිරිස් මැදට ගිහින් සත්‍ය කතා කරන්න සුදුසු කාලයේදීත් මං ඒ යහපත් කාරණය අතහැරලා අධර්මය අනුවයි ගත කළේ. මම අනුන් නැති තැන ඇද කුද කිය කියා නින්දා කළා. ඒ දේවල් නිසා මම අද මගේ ම පිටේ මස් කනවා. පින්වත් නාරද ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ මාව දැක්කා. බුද්ධාදී උතුමන් යමක් වදාළා ද එයමයි සත්‍යය. කේළාම් කියන්න එපා. බොරු කියන්න එපා. එසේ කොට මම වගේ පිටුමස් කන්නෙකු වන්නත් එපා”.