Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දාන කථා /

රහතන් වහන්සේ විසින් සඟසතු දානයක් දී
ප්‍රේත ලෝකයේ දුක් විඳින තම දෙමව්පියන් සහ
සොහොයුරා සුවපත් කළ වගයි

සානුවාසී ප්‍රේතවස්තුව ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය, පෙතවත්ථුපාළි, චූල වර්ගය - පිටු අංක 78 - 85)

කුණ්ඩි නගරයේ සානුවාසී පර්වතයේ පොට්ඨපාද නම් රහතන් වහන්සේ නමක් වැඩ වාසය කළ සේක. උන් වහන්සේගේ දෙමව්පියන් සහ සොහොයුරා පාපී අකුසල කර්ම කර මෙලොවින් චුත වී ප්‍රේත ලෝකයේ ඉපදුණි. නිර්වස්ත්‍ර ඔවුහු මහත් වේදනා විඳිති. ක්ලාන්ත වෙති. මහත් භයකින් සිටින ඔවුන්ගේ සිරුරු පිටට නොපෙනේ.

රහතන් වහන්සේගේ සොහොයුරා තැති ගැන්ම දුරු කොට, දිනක් අඩි පාරක් අයිනේ හුදෙකලා ව සිටියේය. තෙරුන් වහන්සේ ඒ දර්ශනය ගණනකට නොගෙන නිශ්ශබ්ද ව වැඩි සේක. එවිට ප්‍රේතයා “මම ඔබ වහන්සේගේ මිය ගිය සහෝදරයා” යැයි පැවසුවේය. තමනුත් දෙමව්පියනුත් ප්‍රේත ලෝකයේ විඳින දුක් පැවසූ ඔහු දානයක් දී ඔවුන් සුවපත් කරන ලෙස ඉල්ලා සිටියේය.

පොට්ඨපාද තෙරුන් වහන්සේ තවත් භික්ෂූන් වහන්සේලා දොළොස් නමක් සමඟ පිණ්ඩපාතයේ වැඩ, උන් වහන්සේලාගේ පිණ්ඩපාතය ද ඉල්ලා ගෙන, ආර්ය සංඝයාට ආරාධනා කොට සාංඝික දානයක් දුන් සේක. “මේ පින මාගේ ඥාතීන්ට වේවා! මාගේ ඥාතිවරු සුවපත් වෙත්වා!” යයි කියා ඒ පින මවටත්, පියාටත්, සහෝදරයාටත් අනුමෝදන් කළ සේක. ඒ සැණින් ඔවුන්ට ප්‍රණීත භෝජන පහළ විය.

නැවත සහෝදරයා පෙනී සිට තමන්ට ඇති තරම් රසවත් ආහාර ලැබුණු බවත්, වස්ත්‍ර ලබා දීමට උත්සාහ කරන ලෙසත් පැවසුවේය. ඉන් පසු තෙරුන් වහන්සේ ඉවත දමන කපු රෙදිවලින් සිවුරක් කර එය සිව් දිගින් වඩින සංඝයාට පූජා කර, ඒ පින ඔවුන්ට අනුමෝදන් කළ සේක. ඒ සැණින් ඔවුන්ට විචිත්‍ර වස්ත්‍ර පහළ විය. කැමති ආකාරයෙන් ඇඳ ගැනීමට වස්ත්‍ර පහළ වූ බව සහෝදරයා උන් වහන්සේට පැවසූ අතර, ගෙයක් ලබා දෙන ලෙස ද ඉල්ලීමක් කළේය.

පොට්ඨපාද තෙරුන් වහන්සේ කොළ අතු සෙවිළි කර කුටියක් සාදා එය සිව් දිගින් වඩින මහ සඟනට පූජා කළ සේක. කුටි පූජාවේ පින දෙමව්පියන්ට සහ සහෝදරයාට අනුමෝදන් කළ සැණින් ඔවුන්ට මිනිස් ලෝකයේවත් නොමැති ආකාරයේ ගෙවල් පහළ විය.

ඉන් පසු සහෝදරයා ඔවුන්ට පැන් ලැබේ නම් මැනවැයි දැන්වූයේය. තෙරනුවෝ කළයකට පැන් ගෙන සතර දිගින් වඩින මහ සඟනට පැන් පූජා කළෝය. ඒ පින ද ප්‍රේතයන්ට අනුමෝදන් කළ සැණින් ඔවුන්ට ලැබී සීතල ජලය පිරි, සුවඳ හමන නෙළුම්, මහනෙල් මල් පිරි පොකුණක් පහළ විය. ප්‍රේතයා නැවත පොට්ඨපාද තෙරුන් වහන්සේ ඉදිරියේ පෙනී සිට තමන්ගේ කකුල් පැළී ඇති බැවින් බොරලු පොළොවේ ඇවිදීමට අපහසු නිසා යානාවක් ලැබේ නම් හොඳ යැයි පැවසුවේය.

තෙරුන් වහන්සේ පටි සහිත සෙරෙප්පු යුගලක් සිව් දිගින් වඩින මහා සංඝයාට පූජා කර ඒ පින් පෙත් දෙමව්පියන්ට සහ සහෝදරයාට අනුමෝදන් කළ සේක. ඒ සමඟ ම ඔවුන්ට පහළ වූ රථයෙන් ඔවුහු එතැනට පැමිණියෝය. පොට්ඨපාද තෙරුන් වහන්සේගේ දානයන්හි විපාක නිසා ඔවුහු සැප විඳින බව පැවසූ අතර තෙරුන් වහන්සේට නමස්කාර කිරීමට පැමිණි බව පැවසුවෝය.


බාගත ​කිරීමට