එක් වෙළෙන්දෙක්, විවිධ රස වැගිරෙන ධාරා පහක් සහිත රත්තරං අතක් ඇති, දෙවියන්ට සමාන රුවක් ඇති කෙනෙක් දුටුවේය. ඔහු කවුදැයි වෙළෙන්දා අසන ලදි.
“මම ප්‍රේතයෙක්. හැබැයි මාව දෙවියෙකුටවත් මනුෂ්‍යයෙකුටවත් යටපත් කරන්න බැහැ. මං පරම ඉර්ධියට පත් වෙලයි ඉන්නේ. ශරීරයේ වර්ණය හා බලය ඇති ව ඉන්න මට ඕනෑ තරම් දුරක් යන්නත් පුළුවන්”.
“මේ වගේ දේවල් ලබන්න ඔබ කළ පින කුමක්ද?”
වෙළෙන්දා නැවත ඇසුවේය.
මේ ඔහුගේ පිළිතුරයි.
“මම ඉස්සර ආත්මයේ දුප්පත් ඇඳුම් මහණ කෙනෙක්. දන් දෙන්න දෙයක් තිබුණේ නැහැ. මගේ ගේ ලඟ හිටපු සිටුතුමා ශ්‍රද්ධාවන්ත දානපතියෙක්. ඉතිං නොයෙක් පළාත්වලින් සිඟමන් ඉල්ලා ගෙන එන අයට මම දකුණු අත දිග ඇරලා ඒ ගේ පෙන්නුවා. ඒ පින්කමින් තමයි මේ අතින් හැම සැප සම්පතක් ම වැගිරෙන්නේ. දන් දුන් ඒ සිටුතුමා සක් දෙවිඳුගේ ලෝකයට ගිය බව මට අහන්න ලැබුණා”.
ඒ අතර ඇඟිලි වකුටු වී ගිය ප්‍රේතයෙක් ද සිටියේය. ඔහුගේ මුහුණ කැරකී, ඇඹරී තිබිණි. ප්‍රේතයා දුටු වෙළෙන්දා ඒ උපතට හේතුව විමසුවේය. තමා ඒ දන් දුන් සිටුතුමාගේ දානමාන භාර අධිකාරී ලෙස කටයුතු කළ බවත්, සිඟමන් ඉල්ලන මිනිසුන් දැක මුහුණ හකුළුවා ගත් බවත්, ඒ විපාකයෙන් මෙසේ ප්‍රේතයෙකු ව උපන් බවත් පැවසුවේය.
වෙළෙන්දා තම නගරයට ගොස් දන් වැටක් පැවැත්වීය. දුප්පත්, සිඟමන් යදින අයට අවශ්‍ය සියලු දේ දන් දුන්නේය. ඔහු එය දිගට ම කර ගෙන ගියේය. ඉතා පිළිවෙළට, ගරුසරු ව තම අතින් ම දන් දුන්නේය. ඔහු මරණින් මතු තව්තිසා දෙව් ලොව උපත ලැබීය.
ඒ අතර ඉන්දික නම් තරුණයෙක් අනුරුද්ධ මහ රහතන් වහන්සේට හැන්දක් පමණ දන් පුදා මරණින් මතු තව්තිසා දෙව් ලොව ම ඉපදුණි. නමුත් මොහු පෙර කී දෙවු පුතුට වඩා කරුණු දහයකින් බැබළීය.
එක් දිනක් බුදු රජාණන් වහන්සේ තව්තිසාවට වැඩ පඬුපුල් අසුනේ හිඳ සිටි සේක. ඉන්දික දෙව් පුත් බුදු රජුන් සමීපයේ සිටි අතර අනිත් දිව්‍ය පුත්‍රයා බොහෝ ඈතින් සිටියේය. බුදු රජාණන් වහන්සේ මේ වෙනසට හේතු පහදමින් සීලවන්ත, ගුණවන්ත ආර්යයන් වහන්සේලා කෙරෙහි දෙන ස්වල්ප දානය නමුත් මහත් ප්‍රතිඵල ලබා දෙන බව වදාළ සේක.
දන් දෙන විට සුදුසු උතුමන් නුවණින් විමසා බලා දන් දිය යුතුය. සරුසාර කුඹුරක බිත්තර වී වැපිරුවා සේ එයින් දායකයන්ට මහත් ඵලයක් ම අත්වේ.