යසස් ඇති, දිලිසෙන, මහා පිරිවර සහිත, සියලු තව්තිසා දෙවියන්ගේ සුන්දරත්වය පරදන දෙව් දුවක් දුටු භද්‍රා නම් තව්තිසා වැසි දෙව් දුව ඇයගෙන් මෙසේ විමසුවාය.
“මීට කලින් මා ඔබ දැක නැහැ. අදයි මුලින් ම දැක්කේ. මොන වගේ දිව්‍ය ලෝකයකින් ද පැමිණියේ? ඔබ මගේ නමින් ආමන්ත්‍රණය කළා”.
දෙව් දුව මෙසේ පිළිතුරු දුන්නාය.
“මා මිනිස් ලෝකයේ සුභද්‍රා නමින් හිටිය ඔබගේ බාල නැගණිය. අප ස්වාමියාට සම භාර්යාවන් වෙලා හිටියේ. මා මිය ගිහින් නිම්මාණරති දෙවියන් අතර ඉපදුණා”.
භද්‍රා දෙව් දුව යළිත් මෙසේ විමසුවාය.
“නිම්මාණරතියේ උපදින්නේ බොහෝ පින් කළ අයයි. ඔබ පෙර ආත්මයේ මොන වගේ දාන ද දුන්නේ? කුමන සිල්වත් බවක් ද තිබුණේ මේ වගේ තැනක උපදින්න?”
සුභද්‍රා මේ අයුරින් පිළිතුරු දුන්නාය.
“මම දන් පැන් ලබන්නට සුදුසු සංඝරත්නයට පැහැදුණු සිතින්, මගේ දෑතින් ම පිණ්ඩපාත අටක් පූජා කළා. ඒ පිනෙන් තමයි මේ සියලු සැප සම්පත් හා මෙවැනි ලස්සනක් ලැබුණේ”.
ඒ පිළිතුරෙන් කුතුහලයට පත් භද්‍රා දෙව් දුව නැවතත් මෙසේ ප්‍රශ්ණ කළාය.
“මමත් ඒ ආත්මයේ දී බ්‍රහ්මචාරී භික්ෂූන් වහන්සේලා ගැන පැහැදීමෙන් හිටියේ. ඔබටත් වඩා බොහෝ භික්ෂූන්ට මමත් මගේ දෑතින් ම දන් පැන් පූජා කළා. ඔබට වඩා දන් දීලත් ඇයි මම පහත් දිව්‍ය ලෝකයක ඉපදුණේ? අපිට කියන්න, ඔබට ඔය සම්පත් ලැබුණේ මොන වගේ පින්කමක විපාකයක් ද?”
සුභද්‍රා දෙව් දුව ඒ ගැන මෙසේ පැහැදිලි කළාය.
“මම රේවත ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා අටනමකට දානයට ආරාධනා කළා. රේවත ස්වාමීන් වහන්සේ මට අනුකම්පාවෙන් වදාළා ඒ දානය සියලු සංඝයා උදෙසා පූජා කරන ලෙස. මම උන් වහන්සේගේ වචනය අනුව කළා.
ඒක සංඝගත දක්ෂිණාවක් වුණා. ප්‍රමාණ රහිත ගුණ ඇති ආර්ය සංඝයා කෙරෙහි මගේ දානය මනා ව පිහිටියා.
ඔබ දානය පූජා කර ගෙන තිබෙන්නේ පෞද්ගලික වශයෙනුයි. එ් නිසයි ඔබේ දානය මහත්ඵල නැති වුණේ”.
භද්‍රා දෙව් දුවට කාරණය වැටහුණි. ඇය නැවත මිනිස් ලොවට ගොස් සඟ රුවනෙහි අවශ්‍යතා දැන අප්‍රමාදී ව සංඝරත්නයට යළි යළිත් දන් පැන් පූජා කරන්නට ඉටා ගත්තාය.
එකෙණෙහි ම සක් දෙවිඳු එතෙනට පැමිණ, ඇය සමඟ කතා කළ දෙව් දුව කවුරුදැයි භද්‍රා දෙව් දුවගෙන් විමසුවේය. ඇය විස්තරය සක් දෙවිඳුට පැවසුවාය. එවිට සක් දෙවිඳු මෙසේ ප්‍රකාශ කළේය.
“ඔබේ නැගණිය දානය පූජා කරලා තිබෙන්නේ ප්‍රමාණ රහිත ගුණ ඇති ආර්ය සංඝයාටයි. ඒ නිසයි ඇය ඔතරම් බබළන්නේ. ගිජුකුළු පවුවේ වැඩ සිටි බුදු රජාණන් වහන්සේගෙන් මම ඔය කාරණය විමසුවා.
දානය මහත්ඵල මහානිසංස වන්නේ කවරෙකුට දුන්නොත් ද කියා. උන් වහන්සේ මට වදාළා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ගමන් කරන පුද්ගලයන් හතර දෙනාට සහ ඵලයට පත් වූ පුද්ගලයන් හතර දෙනා වන සංඝයාට දෙන දානය මහත්ඵල මහානිසංස වන බව. ඔවුන් ප්‍රඥා සම්පන්නයි. සීල සම්පන්නයි. සමාහිත සිතින් යුක්තයි.
අන්න ඒ ආර්ය සංඝයාට දන් පැන් පූජා කර ගත්තොත් නිසි තැනට පූජා කළා වෙනවා. එවැනි දන් දී ඒ දාන නැවත සිහි කරන්න ඕන. එවිට හිතේ හරි ම සතුටක් ඇති වෙනවා. මසුරුකම සහමුලින් ම දුර ලා ලෝකයේ ජීවත් වෙන්න පුලුවණි. ඒ වගේ ම නින්දා රහිත වූ ස්වර්ගයෙහි උපදින්නටත් පුලුවණි”.