Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දාන කථා /

ගිහියන්ට භික්ෂුවක් රහත් හෝ රහත් මගට පිළිපන් යැයි දැනගත නොහැකිය
එම නිසා සංඝ රත්නයට දන් දෙන්න

දාරුකම්මික සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 4 - පිටු අංක 174 - 177)

එකල බුදු රජාණන් වහන්සේ නාදික නම් ගමෙහි වැඩ වසන සේක. දාරුකම්මික ගෘහපති භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ වැඳ එකත් පස් ව සිටියේය.

“ගෘහපතිය, ඔබගේ නිවසේ දන් දේ ද?” යැයි භාග්‍යවතුන් වහන්සේ ඇසූ සේක.

“එසේය භාග්‍යවතුන් වහන්ස, මාගේ නිවසේ දන් දෙනු ලැබෙයි. ඒ යම් භික්ෂුවක්,

  • ආරණ්‍යවාසී වේ නම්,
  • පිණ්ඩපාතික වේ නම්,
  • පාංශුකූලික වේ නම්,
  • අරහත් හෝ අරහත් මගට පිළිපන්නේ වේ නම්,

එබඳු භික්ෂූන් කෙරෙහි දන් දෙමි”.

“ගෘහපතිය, කාමය විඳින, පුතුන්ගෙන් කරදර ඇති ව වෙසෙන, ගිහි වූ, කසී රට සඳුන් විඳින, මල් ගඳ විලවුන් දරන, රන් රිදී මුදල් ඉවසන නුඹට මොහු රහත්ය කියා හෝ රහත් මගට පිළිපන් කියා දැනගත හැකි නොවෙයි.

  1. යම් භික්ෂුවක් ආරණ්‍යයක විසුව ද උඩඟු නම්, දැඩි මාන සහිත නම්, චපල නම්, කට හැකර නම්, වෙළෙන්දෙකු සේ කෑ ගසයි නම්, සිහි මුළා වූයේ නම්, නුවණ නැති නම්, සිත සමාධිමත් නොවූයේ නම්, විසිරුණු සිතැති නම්, දමනය නොකළ ඉන්ද්‍රියයන් ඇති නම් හෙතෙම ඒ කරුණුවලින් ගැරහිය යුතු වෙයි.
    එසේ ම ආරණ්‍යයක වසන භික්ෂුවක් උඩඟු නොවේ නම්, දැඩි මාන නැති නම්, චපල නැති නම්, කට හැකර නොවේ නම්, වෙළෙන්දෙකු සේ කෑ නොගසයි නම්, එළඹ සිටි සිහිය හා නුවණ ඇති නම්, සිත සමාධිමත් වූ එකඟ සිතැති නම්, වැසුණු ඉන්ද්‍රියයන් ඇති නම් හෙතෙම ඒ කරුණුවලින් ප්‍රශංසා කළ යුතු වෙයි.
  2. යම් භික්ෂුවක් ග්‍රාමාන්තර විහාරී (ගම්වැසි) වුව ද උඩඟු නම්, දැඩි මාන සහිත නම්, චපල නම්, කට හැකර නම්, වෙළෙන්දෙකු සේ කෑ ගසයි නම්, සිහි මුළා වූයේ නම්, නුවණ නැති නම්, සිත සමාධිමත් නොවූයේ නම්, විසිරුණු සිතැති නම්, දමනය නොකළ ඉන්ද්‍රියයන් ඇති නම් හෙතෙම ඒ කරුණුවලින් ගැරහිය යුතු වෙයි.
    එසේ ම යම් භික්ෂුවක් ග්‍රාමාන්තර විහාරී වුව ද උඩඟු නොවේ නම්, දැඩි මාන නැති නම්, චපල නැති නම්, කට හැකර නොවේ නම්, වෙළෙන්දෙකු සේ කෑ නොගසයි නම්, එළඹ සිටි සිහිය හා නුවණ ඇති නම්, සිත සමාධිමත් වූ එකඟ සිතැති වැසුණු ඉන්ද්‍රියයන් ඇති නම් හෙතෙම ඒ කරුණුවලින් ප්‍රශංසා කළ යුතු වෙයි.
  3. යම් භික්ෂුවක් පිණ්ඩපාතික (පිඬු සිඟා වඩින) වුව ද උඩඟු නම්, දැඩි මාන සහිත නම්, චපල නම්, කට හැකර නම්, වෙළෙන්දෙකු සේ කෑ ගසයි නම්, සිහි මුළා වූයේ නම්, නුවණ නැති නම්, සිත සමාධිමත් නොවූයේ නම්, විසිරුණු සිතැති නම්, දමනය නොකළ ඉන්ද්‍රියයන් ඇති නම් හෙතෙම ඒ කරුණුවලින් ගැරහිය යුතු වෙයි.
    එසේ ම පිණ්ඩපාතික භික්ෂුවක් උඩඟු නොවේ නම්, දැඩි මාන නැති නම්, චපල නැති නම්, කට හැකර නොවේ නම්, වෙළෙන්දෙකු සේ කෑ නොගසයි නම්, එළඹ සිටි සිහිය හා නුවණ ඇති නම්, සිත සමාධිමත් වූ එකඟ සිතැති නම්, වැසුණු ඉන්ද්‍රියයන් ඇති නම් හෙතෙම ඒ කරුණුවලින් ප්‍රශංසා කළ යුතු වෙයි.
  4. යම් භික්ෂුවක් නිමන්ත්‍රණය කළ (පැවරූ) දාන ඉවසන්නා වුව ද උඩඟු නම්, දැඩි මාන සහිත නම්, චපල නම්, කට හැකර නම්, වෙළෙන්දෙකු සේ කෑ ගසයි නම්, සිහි මුළා වූයේ නම්, නුවණ නැති නම්, සිත සමාධිමත් නොවූයේ නම්, විසිරුණු සිතැති නම්, දමනය නොකළ ඉන්ද්‍රියයන් ඇති නම් හෙතෙම ඒ කරුණුවලින් ගැරහිය යුතු වෙයි.
    එසේ ම නිමන්ත්‍රණය කළ දාන ඉවසන භික්ෂුවක් උඩඟු නොවේ නම්, දැඩි මාන නැති නම්, චපල නැති නම්, කට හැකර නොවේ නම්, වෙළෙන්දෙකු සේ කෑ නොගසයි නම්, එළඹ සිටි සිහිය හා නුවණ ඇති නම්, සිත සමාධිමත් වූ එකඟ සිතැති නම්, වැසුණු ඉන්ද්‍රියයන් ඇති නම් හෙතෙම ඒ කරුණුවලින් ප්‍රශංසා කළ යුතු වෙයි.
  5. යම් භික්ෂුවක් පාංශුකූලික (කුණු ගොඩින් ගත් රෙදිවලින්) සිවුරු දැරුව ද උඩඟු නම්, දැඩි මාන සහිත නම්, චපල නම්, කට හැකර නම්, වෙළෙන්දෙකු සේ කෑ ගසයි නම්, සිහි මුළා වූයේ නම්, නුවණ නැති නම්, සිත සමාධිමත් නොවූයේ නම්, විසිරුණු සිතැති නම්, දමනය නොකළ ඉන්ද්‍රියයන් ඇති නම් හෙතෙම ඒ කරුණුවලින් ගැරහිය යුතු වෙයි.
    එසේ ම පාංශුකූලික භික්ෂුවක් උඩඟු නොවේ නම්, දැඩි මාන නැති නම්, චපල නැති නම්, කට හැකර නොවේ නම්, වෙළෙන්දෙකු සේ කෑ නොගසයි නම්, එළඹ සිටි සිහිය හා නුවණ ඇති නම්, සිත සමාධිමත් වූ එකඟ සිතැති නම්, වැසුණු ඉන්ද්‍රියයන් ඇති නම් හෙතෙම ඒ කරුණුවලින් ප්‍රශංසා කළ යුතු වෙයි.
  6. යම් භික්ෂුවක් ගිහියන් දෙන චීවර දැරුව ද උඩඟු නම්, දැඩි මාන සහිත නම්, චපල නම්, කට හැකර නම්, වෙළෙන්දෙකු සේ කෑ ගසයි නම්, සිහි මුළා වූයේ නම්, නුවණ නැති නම්, සිත සමාධිමත් නොවූයේ නම්, විසිරුණු සිතැති නම්, දමනය නොකළ ඉන්ද්‍රියයන් ඇති නම් හෙතෙම ඒ කරුණුවලින් ගැරහිය යුතු වෙයි.
    එසේ ම භික්ෂුවක් ගිහියන් දෙන චීවර දැරූව ද උඩඟු නොවේ නම්, දැඩි මාන නැති නම්, චපල නැති නම්, කට හැකර නොවේ නම්, වෙළෙන්දෙකු සේ කෑ නොගසයි නම්, එළඹ සිටි සිහිය හා නුවණ ඇති නම්, සිත සමාධිමත් වූ එකඟ සිතැති නම්, වැසුණු ඉන්ද්‍රියයන් ඇති නම් හෙතෙම ඒ කරුණුවලින් ප්‍රශංසා කළ යුතු වෙයි.

ගෘහපතිය, එහෙයින් නුඹ සංඝයා කෙරෙහි දන් දෙන්න. සංඝයාට දන් දෙන නුඹගේ සිත පැහැදෙයි. පිරිසිදු වෙයි. එසේ පිරිසිදු සිත් ඇති විට මරණින් මතු සුගති (දිව්‍ය) ලෝකයන්හි ඉපදෙන්නේය”.

“එසේය භාග්‍යවතුන් වහන්ස, අද පටන් මම සංඝයාට දන් දෙන්නෙමි” යි දාරුකම්මික ගෘහපති පැවසුවේය.


බාගත ​කිරීමට