Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / නිර්මල බුදු සසුන වනසන්න එපා /

ගැඹුරු අරුතින් යුතු නිවන පිණිස පවතින ශ්‍රී සද්ධර්මය කවි බණ නිසා වැනසේ

ආණි සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුක්ත නිකාය 2 - පිටු අංක 412 - 413)

“මහණෙනි, දසාරහ ක්ෂත්‍රියයන්ගේ ආණක නම් මිහිඟු බෙරයක් විය. ඒ ආණක බෙර කඳ පැළුණු විට ඔවුහු එයට වෙන ඇණයක් දැමූහ. මහණෙනි, මෙසේ යම් කලෙක ආණක බෙරයේ පැරණි බෙර කඳ අතුරුදහන් වී ඇණ සැකිල්ල ම ඉතිරි විය.

මේ අයුරින් ම මහණෙනි, අනාගත කාලයේ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ගාම්භීර, ගැඹුරු අරුත් ඇති, ලෝකෝත්තර, ශූන්‍ය බව යෙදුණු ධර්ම කොටස් ප්‍රකාශ කරන කල්හි ඇසීමට කැමති නොවෙති. කන් යොමු නොකරති. එම ධර්ම ඉගෙන ගත යුතු යැයි පරිපූර්ණ කළ යුතු යැයි නොසිතති.

ඒ අනාගත භික්ෂූහු, කවීන් විසින් කරන ලද, කවීන් විසින් ගොතන ලද, විසිතුරු අකුරු ව්‍යඤ්ජන ඇති, සසුනෙන් පිටත වූ ශ්‍රාවකයන් විසින් කියන ලද ධර්ම කොටස් (කවි) වේ ද, ඒවා කියන කල්හි ඇසීමට කැමති වෙති. කන් යොමු කරති. අවබෝධය පිණිස හිත යොමු කරති. එම ධර්ම ඉගෙන ගනිති. පරිපූර්ණ කරති.

මහණෙනි, මෙසේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ගාම්භීර, ගැඹුරු අරුත් ඇති, ලෝකෝත්තර, ශූන්‍ය බව යෙදුණු ධර්ම කොටස් අතුරුදහන් වීම වන්නේය.

එම නිසා මහණෙනි, නුඹලා මෙසේ ම හික්මිය යුතුය. තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ගාම්භීර, ගැඹුරු අරුත් ඇති, ලෝකෝත්තර, ශූන්‍ය බව යෙදුණු ධර්ම කොටස් ප්‍රකාශ කරන කල්හි ඇසීමට කැමති වෙමු. කන් යොමු කරමු. අවබෝධය පිණිස සිත යොමු කරමු. එම ධර්ම ඉගෙන ගත යුතු යැයි පරිපූර්ණ කළ යුතු යැයි සිතමු”.


බාගත ​කිරීමට