මෙකල බුද්ධ ශාසනයේ ස්වරූපය බුදු නෙතින් දැක
වසර 2600 කට පෙර ප්‍රකාශ කළ වගයි
තතියඅනාගතභය සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 3 - පිටු අංක 170 - 173)
මහණෙනි, අනාගතයේ භය පහක් උපදියි. මේවා දැනගෙන ඒවා දුරු කිරීම පිණිස උත්සාහ දැරිය යුතුය.
කවර පහක් ද යත්;
- අනාගත කාලයෙහි නොවැඩූ කය ඇති, නොවැඩූ සිල් ඇති, නොවැඩූ සිත් ඇති, නොවැඩූ ප්‍රඥා ඇති භික්ෂූහු වෙති. ඔවුහු අන්‍යයන් උපසම්පදා කරති. ඒ භික්ෂූන්ට ඔවුන් අධිසීලයේ, අධිචිත්තයේ, අධිප්‍රඥාවෙහි හික්මවීමට නොහැකි වෙති. ඒ භික්ෂූහු ද නොවැඩූ කය ඇති, නොවැඩූ සිල් ඇති, නොවැඩූ සිත් ඇති, නොවැඩූ ප්‍රඥා ඇති භික්ෂූන් බවට ම පත් වෙති.
- මෙසේ ධර්ම දූෂණයෙන් (පරිහානියෙන්/අපවිත්‍රවීමෙන්) විනය දූෂණය වෙයි. විනය දූෂණයෙන් ධර්මය දූෂණය වෙයි.
- මේ පළමු වන අනාගත භය යි. එය දැන එය දුරු කිරීම පිණිස වීර්ය කළ යුතුය.
- අනාගත කාලයෙහි නොවැඩූ කය ඇති, නොවැඩූ සිල් ඇති, නොවැඩූ සිත් ඇති, නොවැඩූ ප්‍රඥා ඇති භික්ෂූහු වෙති. ඔවුහු අන් මහණුන් ට නිස දෙති. (නවක භික්ෂුවක් ධර්ම විනය ඉගෙනීම සඳහා වැඩිහිටි භික්ෂුවක් යටතේ සිටීම නිස ගැනීම වෙයි.) ඒ භික්ෂූන්ට අන් මහණන් අධිසීලයේ, අධිචිත්තයේ, අධිප්‍රඥාවෙහි හික්මවීමට නොහැකි වෙයි. ඒ භික්ෂූහු ද නොවැඩූ කය ඇති, නොවැඩූ සිත් ඇති, නොවැඩූ සිල් ඇති, නොවැඩූ ප්‍රඥා ඇති භික්ෂූන් බවට ම පත් වෙති.
- මෙසේ ධර්ම දූෂණයෙන් විනය දූෂණය වෙයි. විනය දූෂණයෙන් ධර්මය දූෂණය වෙයි.
- මේ දෙවන අනාගත භය යි. එය දැන එය දුරු කිරීම පිණිස වීර්ය කළ යුතුය.
- අනාගත කාලයෙහි නොවැඩූ කය ඇති, නොවැඩූ සිල් ඇති, නොවැඩූ සිත් ඇති, නොවැඩූ ප්‍රඥා ඇති භික්ෂූහු වෙති. ඔවුහු අභිධර්ම කථා, ධර්ම කොටස් විශ්ලේෂණය කරන කථා පවසන නමුත් පවිටු අකුසල ධර්මයන්ට බැස ගනිමින් එම ධර්මයන් අවබෝධ ද නොකරති.
- මෙසේ ධර්ම දූෂණයෙන් විනය දූෂණය වෙයි. විනය දූෂණයෙන් ධර්මය දූෂණය වෙයි.
- මේ තෙවන අනාගත භය යි. එය දැන එය දුරු කිරීම පිණිස වීර්ය කළ යුතුය.
- අනාගත කාලයෙහි නොවැඩූ කය ඇති, නොවැඩූ සිල් ඇති, නොවැඩූ සිත් ඇති, නොවැඩූ ප්‍රඥා ඇති භික්ෂූහු වෙති. ඔවුහු තථාගත භාෂිත වූ, ගැඹුරු වූ, ගැඹුරු අර්ථ ඇති, ලෝකෝත්තර වූ, ශූන්‍යතාවයෙන් යුක්ත වූ යම් ධර්මයක් දේශනා කරන විට ඒ ධර්මය ඇසීමට කැමති නොවෙති. කන් යොමු නොකරති. එම ධර්මය ඉගෙන ගත යුතු යැයි පරිපූර්ණ කළ යුතු යැයි නොසිතති. කවීන් විසින් කරන ලද, කවීන් විසින් ගොතන ලද, විසිතුරු අකුරු ව්‍යංජන ඇති සසුනෙන් පිටත වූ ශ්‍රාවකයන් විසින් කියන ලද ධර්ම කොටස් (කවි) වේ ද ඒවා කියන කල්හි ඇසීමට කැමති වෙති. කන් යොමු කරති. අවබෝධය පිණිස හිත යොමු කරති. එම කවි ඉගෙන ගනිති. පරිපූර්ණ කරති.
- මෙසේ ධර්ම දූෂණයෙන් විනය දූෂණය වෙයි. විනය දූෂණයෙන් ධර්මය දූෂණය වෙයි.
- මේ සිව්වන අනාගත භය යි. එය දැන එය දුරු කිරීම පිණිස වීර්ය කළ යුතුය.
- අනාගත කාලයෙහි නොවැඩූ කය ඇති, නොවැඩූ සිල් ඇති, නොවැඩූ සිත් ඇති, නොවැඩූ ප්‍රඥා ඇති භික්ෂූහු වෙති. ඒ ස්ථවිර භික්ෂූහු ප්‍රත්‍ය බහුල කොට ඇත්තාහු, ශාසනය ලිහිල් කොට ගත්තාහු, නීවරණයන්ට බැස ගැනීමෙහි පුරෝගාමී වූවාහු, උතුම් විවේකයෙහි බහා තැබූ වීර්ය ඇත්තාහු, නොපැමිණි ධර්මයන්ගේ පැමිණීම පිණිස, අවබෝධ නොකළ ධර්මයන්ගේ අවබෝධය පිණිස, සාක්ෂාත් නොකළ ධර්මයන්ගේ සාක්ෂාත් කිරීම පිණිස වීර්ය නොඅරඹති. ඔවුන්ගෙන් පසුපස යන්නෝ ද ඒ දිට්ඨානුගතියට ම යති.
- මෙසේ ඒ පසුපස යන්නෝ ද ප්‍රත්‍ය බහුල කොට ඇත්තාහු, ශාසනය ලිහිල් කොට ගත්තාහු, නීවරණයන්ට බැස ගැනීමෙහි පුරෝගාමී වූවාහු, උතුම් විවේකයෙහි බහා තැබූ වීර්ය ඇත්තාහු, නොපැමිණි ධර්මයන්ගේ පැමිණීම පිණිස, අවබෝධ නොකළ ධර්මයන්ගේ අවබෝධය පිණිස, සාක්ෂාත් නොකළ ධර්මයන්ගේ සාක්ෂාත් කිරීම පිණිස වීර්ය නොඅරඹති.
- මෙසේ ධර්ම දූෂණයෙන් විනය දූෂණය වෙයි. විනය දූෂණයෙන් ධර්මය දූෂණය වෙයි.
- මේ පස්වන අනාගත භය යි. එය දැන එය දුරු කිරීම පිණිස වීර්ය කළ යුතුය.
බාගත කිරීමට 