Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස /

බුදු රජාණන් වහන්සේ කිනම් වාද ඇත්තේ ද?
කුමක් කියන්නේ ද?

දෙවදහ සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා‚ සංයුක්ත නිකාය 3 - පිටු අංක 08 - 15)

දුර බැහැර ප්‍රදේශයකට යන භික්ෂු පිරිසකට අවවාද වශයෙන් සැරියුත් මහා රහතන් වහන්සේ විසින් මෙම දේශනාව වදාළ සේක.

මහණෙනි, අන් රටකට, අන් ප්‍රදේශයකට යන මහණුන්ගෙන් ප්‍රශ්න අසන ගිහි පැවිදි පණ්ඩිතයෝ සිටිති. එවිට ශාස්තෘන් වහන්සේට අවනම්බුවක් නොවන සේ නින්දාවක් නොවන සේ සද්ධර්මයට ගැලපෙන සේ අනුදහමක් පැවසිය යුතු වෙයි.

මිතුරනි, ඒ පණ්ඩිත මිනිස්සු ඔබගේ ශාස්තෘන් වහන්සේ කිනම් වාද ඇත්තෙක් ද කෙසේ අවවාද කරන්නේ ද යැයි විමසති.

මෙසේ ඇසූ කල, මිතුරනි, අපගේ ශාස්තෘන් වහන්සේ විසින් ඡන්දරාගය (ආසාව, දැඩි කැමැත්ත) නැසීම පවසන සේක් යැයි ප්‍රකාශ කළ යුතුය.

මෙසේ පැවසූ කල්හි ද සමහර පණ්ඩිත මිනිස්සු තවදුරටත් ප්‍රශ්න අසන්නෝ වෙත්මැයි. මිතුරනි, ඔබගේ ශාස්තෘන් වහන්සේ කුමක ඡන්දරාගය නැසීම පවසන සේක්දැ යි විමසන්නෝ ද වෙති.

මෙසේ ඇසූ කල, මිතුරනි, අපගේ ශාස්තෘන් වහන්සේ විසින් රූපයෙහි ඡන්දරාගය නැසීම පවසන සේක, වේදනාවෙහි ඡන්දරාගය නැසීම පවසන සේක, සංඥාවෙහි ඡන්දරාගය නැසීම පවසන සේක, සංස්කාරයෙහි ඡන්දරාගය නැසීම පවසන සේක, විඥානයෙහි ඡන්දරාගය නැසීම පවසන සේකැ’ යි ප්‍රකාශ කළ යුතුය.

මෙසේ පැවසූ කල්හි ද සමහර පණ්ඩිත මිනිස්සු තවදුරටත් ප්‍රශ්න අසන්නෝ වෙත්මැයි. මිතුරනි, ඔබගේ ශාස්තෘන් වහන්සේ කුමන දෝෂයක් දැක රූපයෙහි ඡන්දරාගය නැසීම පවසන්නේ ද? වේදනාවෙහි ඡන්දරාගය නැසීම පවසන්නේ ද? සංඥාවෙහි ඡන්දරාගය නැසීම පවසන්නේ ද? සංස්කාරයෙහි ඡන්දරාගය නැසීම පවසන්නේ ද? විඥානයෙහි ඡන්දරාගය නැසීම පවසන්නේදැ’යි විමසන්නෝ ද වෙති.

මෙසේ ඇසූ කල ඔබ මේ අයුරින් විසඳිය යුතු වෙයි. මිතුරනි, රූපය කෙරෙහි ආසාව ඇති, කැමැත්ත ඇති, ප්‍රේමය ඇති, බලාපොරොත්තු ඇති, තැවිලි ඇති, තණ්හාව ඇති පුද්ගලයාට ඒ රූපය වෙනස් වීමෙන්, විනාශ වීමෙන්, අන් අයුරක් වීමෙන් ශෝකය, දුක, දොම්නස, විලාප කීම්, දැඩි සිත් තැවුල් උපදියි. වේදනාව කෙරෙහි ආසාව ඇති, කැමැත්ත ඇති, ප්‍රේමය ඇති, බලාපොරොත්තු ඇති, තැවිලි ඇති, තණ්හාව ඇති පුද්ගලයාට ඒ වේදනාව වෙනස් වීමෙන්, විනාශ වීමෙන්, අන් අයුරක් වීමෙන් ශෝකය, දුක, දොම්නස, විලාප කීම්, දැඩි සිත් තැවුල් උපදියි. සංඥාව කෙරෙහි ආසාව ඇති, කැමැත්ත ඇති, ප්‍රේමය ඇති, බලාපොරොත්තු ඇති, තැවිලි ඇති, තණ්හාව ඇති පුද්ගලයාට ඒ සංඥාව වෙනස් වීමෙන්, විනාශ වීමෙන්, අන් අයුරක් වීමෙන් ශෝකය, දුක, දොම්නස, විලාප කීම්, දැඩි සිත් තැවුල් උපදියි. සංස්කාරය කෙරෙහි ආසාව ඇති, කැමැත්ත ඇති, ප්‍රේමය ඇති, බලාපොරොත්තු ඇති, තැවිලි ඇති, තණ්හාව ඇති පුද්ගලයාට ඒ සංස්කාරය වෙනස් වීමෙන්, විනාශ වීමෙන්, අන් අයුරක් වීමෙන් ශෝකය, දුක, දොම්නස, විලාප කීම්, දැඩි සිත් තැවුල් උපදියි. විඥානය කෙරෙහි ආසාව ඇති, කැමැත්ත ඇති, ප්‍රේමය ඇති, බලාපොරොත්තු ඇති, තැවිලි ඇති, තණ්හාව ඇති පුද්ගලයාට ඒ විඥානය වෙනස් වීමෙන්, විනාශ වීමෙන්, අන් අයුරක් වීමෙන් ශෝකය, දුක, දොම්නස, විලාප කීම්, දැඩි සිත් තැවුල් උපදියි.

අපගේ ශාස්තෘන් වහන්සේ මේ දෝෂය දැක රූපයෙහි ඡන්දරාගය නැසීම පවසන සේක. වේදනාවෙහි ඡන්දරාගය නැසීම පවසන සේක. සංඥාවෙහි ඡන්දරාගය නැසීම පවසන සේක. සංස්කාරයෙහි ඡන්දරාගය නැසීම පවසන සේක. විඥානයෙහි ඡන්දරාගය නැසීම පවසන සේකැ’ යි ප්‍රකාශ කළ යුතුය.

මෙසේ පැවසූ කල්හි ද සමහර පණ්ඩිත මිනිස්සු තවදුරටත් ප්‍රශන අසන්නෝ වෙත්මැයි. මිතුරනි, ඔබගේ ශාස්තෘන් වහන්සේ කුමන ආනිසංසයක් දැක රූපයෙහි ඡන්දරාගය නැසීම පවසන්නේ ද? වේදනාවෙහි ඡන්දරාගය නැසීම පවසන්නේ ද? සංඥාවෙහි ඡන්දරාගය නැසීම පවසන්නේ ද? සංස්කාරයෙහි ඡන්දරාගය නැසීම පවසන්නේ ද? විඥානයෙහි ඡන්දරාගය නැසීම පවසන්නේදැ’යි විමසන්නෝ ද වෙති.

මෙසේ ඇසූ කල ඔබ මේ අයුරින් විසඳිය යුතු වෙයි. මිතුරනි, රූපය කෙරෙහි ආසාව නැති, කැමැත්ත නැති, ප්‍රේමය නැති, බලාපොරොත්තු නැති, තැවිලි නැති, තණ්හාව නැති පුද්ගලයාට ඒ රූපය වෙනස් වීමෙන්, විනාශ වීමෙන්, අන් අයුරක් වීමෙන් ශෝකය, දුක, දොම්නස, විලාප කීම්, දැඩි සිත් තැවුල් නූපදියි. වේදනාව කෙරෙහි ආසාව නැති, කැමැත්ත නැති, ප්‍රේමය නැති, බලාපොරොත්තු නැති, තැවිලි නැති, තණ්හාව නැති පුද්ගලයාට ඒ වේදනාව වෙනස් වීමෙන්, විනාශ වීමෙන්, අන් අයුරක් වීමෙන් ශෝකය, දුක, දොම්නස, විලාප කීම්, දැඩි සිත් තැවුල් නූපදියි. සංඥාව කෙරෙහි ආසාව නැති, කැමැත්ත නැති, ප්‍රේමය නැති, බලාපොරොත්තු නැති, තැවිලි නැති, තණ්හාව නැති පුද්ගලයාට ඒ සංඥාව වෙනස් වීමෙන්, විනාශ වීමෙන්, අන් අයුරක් වීමෙන් ශෝකය, දුක, දොම්නස, විලාප කීම්, දැඩි සිත් තැවුල් නූපදියි. සංස්කාරය කෙරෙහි ආසාව නැති, කැමැත්ත නැති, ප්‍රේමය නැති, බලාපොරොත්තු නැති, තැවිලි නැති, තණ්හාව නැති පුද්ගලයාට ඒ සංස්කාරය වෙනස් වීමෙන්, විනාශ වීමෙන්, අන් අයුරක් වීමෙන් ශෝකය, දුක, දොම්නස, විලාප කීම්, දැඩි සිත් තැවුල් නූපදියි. විඥානය කෙරෙහි ආසාව නැති, කැමැත්ත නැති, ප්‍රේමය නැති, බලාපොරොත්තු නැති, තැවිලි නැති, තණ්හාව නැති පුද්ගලයාට ඒ විඥානය වෙනස් වීමෙන්, විනාශ වීමෙන්, අන් අයුරක් වීමෙන් ශෝකය, දුක, දොම්නස, විලාප කීම්, දැඩි සිත් තැවුල් නූපදියි.

අපගේ ශාස්තෘන් වහන්සේ මේ අනුසස් දැක රූපයෙහි ඡන්දරාගය නැසීම පවසන සේක, වේදනාවෙහි ඡන්දරාගය නැසීම පවසන සේක, සංඥාවෙහි ඡන්දරාගය නැසීම පවසන සේක, සංස්කාරයෙහි ඡන්දරාගය නැසීම පවසන සේක, විඥානයෙහි ඡන්දරාගය නැසීම පවසන සේකැ’ යි ප්‍රකාශ කළ යුතුය.

ඇවැත්නි, අකුසල් දහම් රැස් කොට වසන්නහුට මේ ජීවිතයේත් නිදුක් වූ තැවිලි නැති බලවත් සිත් තැවුල් නැති සැපවත් ව වාසය කිරීමක් වේ නම්, මරණින් මතුත් සුගතියත් ලැබේ නම් භාග්‍යවතුන් වහන්සේ විසින් අකුසල් දහම් ප්‍රහාණයෙහි ගුණ නොකියන සේක. එහෙත් අකුසල් දහම් රැස් කොට වසන්නහුට මේ ජීවිතයේත් දුක් වූ තැවිලි ඇති බලවත් සිත් තැවුල් ඇති දුක්පත් ව වාසය කිරීමක් වන බැවින්, මරණින් මතුත් දුගතියත් ලැබෙන බැවින් භාග්‍යවතුන් වහන්සේ විසින් අකුසල් දහම් ප්‍රහාණයෙහි ගුණ කියන සේක.

ඇවැත්නි, කුසල් දහම් රැස් කොට වසන්නහුට මේ ජීවිතයේත් දුක් වූ තැවිලි ඇති බලවත් සිත් තැවුල් ඇති දුක්පත් ව වාසය කිරීමක් වේ නම්, මරණින් මතුත් දුගතියත් ලැබේ නම් භාග්‍යවතුන් වහන්සේ විසින් කුසල් දහම් වැඩීමෙහි ගුණ නොකියන සේක. එහෙත් කුසල් දහම් රැස් කොට වසන්නහුට මේ ජීවිතයේත් නිදුක් වූ තැවිලි නැති බලවත් සිත් තැවුල් නැති සැපවත් ව වාසය කිරීමක් වන බැවින්, මරණින් මතුත් සුගතියත් ලැබෙන බැවින් භාග්‍යවතුන් වහන්සේ විසින් අකුසල් දහම් ප්‍රහාණයෙහි ගුණ කියන සේක.


බාගත ​කිරීමට