Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස /

රූප වේදනා සංඥා සංස්කාර සහ විඥානවල සත්‍ය ස්වභාවය

ඵෙණපිණ්ඩූපම සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුත්ත නිකාය 3 - පිටු අංක 240 - 247)

බුදු රජාණන් වහන්සේ රූපය පෙණ පිඩක් යැයි වදාරන සේක. හොඳින් සිතන්න. පෙණ පිඩක ගොඩක් තියෙන බව පෙනුණත්, ඝන ලෙස පෙනුණත්, සත්‍ය වශයෙන් ම එසේ නොවෙයි. එසේ නම් රූපය ද, මෙසේ ඝන ලෙස පවතින දෙයක් ලෙස පෙනුණත් එය හිස්, රික්තක, බොල්, හරයක් නැති දෙයකි.

එසේ ම වේදනාව දිය බුබුළකට උපමා කොට වදාළ සේක. වසින විට ජලය ඇති තැනකට අහසින් දිය බිඳක් වැටීමේ දී දිය බුබුළක් හටගනියි. එය ඇති දෙයක් හැටියට පෙනුණත් ඒ මොහොතේ ම නැති වී යයි. එසේ ම වේදනාව ද හිස්, රික්තක, බොල්, හරයක් නැති දෙයකි.

එසේ ම හඳුනා ගන්නා දේ (සංඥාව) මිරිඟුවකට උපමා කොට වදාළ සේක. මිරිඟුවේ ජලය ඇති බවට පෙනුණත් එහි සැබැවින් ම ජලය නැත. එසේ ම හඳුනා ගත් දෙය ද හිස්, රික්තක, බොල්, හරයක් නැති දෙයකි.

අප හිතන දේ ද (සංස්කාර) කෙසෙල් කඳකට උපමා කොට වදාළ සේක. එලයක් වත් නැති කෙසෙල් කඳක අරටුවක් කොයින් ද? එසේ ම හිතන දේ ද හිස්, රික්තක, බොල්, හරයක් නැති දෙයකි.

බුදු රජාණන් වහන්සේ දැනගැනීම (විඥානය) මායාවකට උපමා කොට වදාළ සේක. මායාවක (මැජික්) බොහෝ දේ ඇති බව පෙනුණත් එය ඇස් බැන්දුමක් පමණි. එසේ නම් අප දැන ගන්නා වූ සියල්ල හිස්, රික්තක, බොල්, හරයක් නැති මායාවකි.

මෙසේ නුවණින් විමසන ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා රූප, වේදනා, සංඥා, සංස්කාර සහ විඥාන යන සියල්ල හිස් බවත්, රික්තකයක් බවත්, බොල් බවත්, කිසි හරයක් නැති බවත් වටහා ගනියි.

මෙසේ දැකීමෙන් එහි කලකිරෙයි.

කලකිරීම නිසා නොඇලෙයි.

නොඇලෙනුයේ මිදෙයි (විමුක්තිය).

මිදුණු කල්හි මිදුණේ යැයි නුවණ පිහිටා සිටියි (විමුක්ති ඥාන දර්ශනය).


බාගත ​කිරීමට