Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / පටිච්චසමුප්පාදය දැක ධර්මය දකිමු /

කුසල වූ සීලය අනුක්‍රමයෙන් නිවනට ම පවතී

කිමත්ථිය සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 6 - පිටු අංක 584 - 587)

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වසන සේක. ආනන්ද තෙරණුවෝ පැමිණ සකසා වැඳ එකත් පස් ව හිඳ මෙසේ විමසූ සේක.

භාග්‍යවතුන් වහන්ස, කුසල වූ සීලය කුමක් අනුසස් කොට, කුමක් අර්ථ කොට ඇති ද?

ආනන්දයෙනි, කුසල වූ සීලය විපිළිසර (පසුතැවිලි) නොවීම අනුසස් කොට, අර්ථ කොට ඇත.

භාග්‍යවතුන් වහන්ස, විපිළිසර නොවීම කුමක් අනුසස් කොට, කුමක් අර්ථ කොට ඇති ද?

ආනන්දයෙනි, විපිළිසර නොවීම ප්‍රමෝදය අනුසස් කොට, අර්ථ කොට ඇත.

භාග්‍යවතුන් වහන්ස, ප්‍රමෝදය කුමක් අනුසස් කොට, කුමක් අර්ථ කොට ඇති ද?

ආනන්දයෙනි, ප්‍රමෝදය ප්‍රීතිය අනුසස් කොට, අර්ථ කොට ඇත.

භාග්‍යවතුන් වහන්ස, ප්‍රීතිය කුමක් අනුසස් කොට, කුමක් අර්ථ කොට ඇති ද?

ආනන්දයෙනි, ප්‍රීතිය පස්සද්ධිය (සිත කය සැහැල්ලු බව, ශාන්ත බව, සැනසීම, නිවීයාම) අනුසස් කොට, අර්ථ කොට ඇත.

භාග්‍යවතුන් වහන්ස, පස්සද්ධිය කුමක් අනුසස් කොට, කුමක් අර්ථ කොට ඇති ද?

ආනන්දයෙනි, පස්සද්ධිය සුඛය (සැපය) අනුසස් කොට, අර්ථ කොට ඇත.

භාග්‍යවතුන් වහන්ස, සුඛය කුමක් අනුසස් කොට, කුමක් අර්ථ කොට ඇති ද?

ආනන්දයෙනි, සුඛය සමාධිය (සිත එකඟ බවට පත් වීම) අනුසස් කොට, අර්ථ කොට ඇත.

භාග්‍යවතුන් වහන්ස, සමාධිය කුමක් අනුසස් කොට, කුමක් අර්ථ කොට ඇති ද?

ආනන්දයෙනි, සමාධිය යථාභූත ඥාන දර්ශනය (තත් වූ පරිදි නුවණින් දැකීම. ‘හටගන්නා වූ යම් කිසිවක් වේ ද ඒ සියල්ල නිරෝධ වනසුලුය’ යන ලෝකෝත්තර සම්මා දිට්ඨිය එනම් අනත්‍යයි, අනිත්‍ය නිසා දුකයි, අනිත්‍ය දුක් දේ අනාත්මයි. එනම් ලෝකය දුකක් බව අවබෝධ වීම) අනුසස් කොට, අර්ථ කොට ඇත.

භාග්‍යවතුන් වහන්ස, යථාභූත ඥාන දර්ශනය කුමක් අනුසස් කොට, කුමක් අර්ථ කොට ඇති ද?

ආනන්දයෙනි, යථාභූත ඥාන දර්ශනය නිබ්බිදාව (කලකිරීම) අනුසස් කොට, අර්ථ කොට ඇත.

භාග්‍යවතුන් වහන්ස, නිබ්බිදාව කුමක් අනුසස් කොට, කුමක් අර්ථ කොට ඇති ද?

ආනන්දයෙනි, නිබ්බිදාව විරාගය (නොඇලීම) අනුසස් කොට, අර්ථ කොට ඇත.

භාග්‍යවතුන් වහන්ස, විරාගය කුමක් අනුසස් කොට, කුමක් අර්ථ කොට ඇති ද?

ආනන්දයෙනි, විරාගය විමුක්ති ඥාන දර්ශනය (අරහත්වය) අනුසස් කොට, අර්ථ කොට ඇත.

ආනන්දයෙනි, මෙසේ;

  • කුසල වූ සීලය, විපිළිසර නොවීම අනුසස් කොට, අර්ථ කොට ඇත.
  • විපිළිසර නොවීම, ප්‍රමෝදය අනුසස් කොට, අර්ථ කොට ඇත.
  • ප්‍රමෝදය, ප්‍රීතිය අනුසස් කොට, අර්ථ කොට ඇත.
  • ප්‍රීතිය, පස්සද්ධිය අනුසස් කොට, අර්ථ කොට ඇත.
  • පස්සද්ධිය, සුඛය අනුසස් කොට, අර්ථ කොට ඇත.
  • සුඛය, සමාධිය අනුසස් කොට, අර්ථ කොට ඇත.
  • සමාධිය, යථාභූත ඥාන දර්ශනය අනුසස් කොට, අර්ථ කොට ඇත.
  • යථාභූත ඥාන දර්ශනය, නිබ්බිදාව අනුසස් කොට, අර්ථ කොට ඇත.
  • නිබ්බිදාව, විරාගය අනුසස් කොට, අර්ථ කොට ඇත.
  • විරාගය, විමුක්ති ඥාන දර්ශනය අනුසස් කොට, අර්ථ කොට ඇත.

ආනන්දයෙනි, මෙසේ කුසල වූ සීලය අනුක්‍රමයෙන් අරහත් බව සපුරාලයි.

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑමට ආසන්න කාලයේ දී බහුල වශයෙන් ම දේශනා කළ දැහැමි කතාවක්

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, දීඝ නිකාය 2, මහාපරිනිබ්බාන සූත්‍රය - පිටු අංක 126 - 127)

සීලය මෙබඳුය. සමාධිය මෙබඳුය. ප්‍රඥාව මෙබඳුය.

සීලයෙන් වඩන ලද සමාධිය මහත්ඵල මහානිසංස වෙයි.

සමාධියෙන් වඩන ලද ප්‍රඥාව මහත්ඵල මහානිසංස වෙයි.

ප්‍රඥාවෙන් වඩන ලද සිත කමාශ්‍රව, භවාශ්‍රව, අවිද්‍යාශ්‍රව යන ආශ්‍රව කෙරෙන් මොනවට මිදෙයි (නිවන් දකියි).


බාගත ​කිරීමට